ශ්‍රී ලංකා ක්‍රීඩා නර්තනයට දෙවසරයි

193

ශ්‍රී ලංකා ක්‍රීඩා නර්තනායතනය (DanceSports Lanka) සිය දෙවස් පූරණය සැමරීම මෙන්ම එහි නිල වෙබ් අඩවිය එළිදැක්වීම අද (27) කොළඹ Cinnamon Grand හෝටල් පරිශ්‍රයේ දී සිදු කෙරුණා.

2021 වසරේ දී ආරම්භ කෙරුණු ශ්‍රී ලංකා ක්‍රීඩා නර්තනායතනය සඳහා ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ මෙන්ම ලෝක ක්‍රීඩා නර්තන සම්මේලනයේ (World DanceSports Federation – WDSF) ද පූර්ණ අනුමැතිය හිමි වී ඇත අතර ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යාංශයේ ද පූර්ණ අනුමැතිය මේ සඳහා ඉදිරියේ දී හිමි වීමට නියමිතයි. ඒ සඳහා අදාළ කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩා නර්තනායතනයේ සභාපති ලෙස මාලිංග ප්‍රනාන්දු මහතා කටයුතු කරනු ලබනවා. ඔහු මෙරට හෝටල් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන අතර මේ වන විට Assent International හි කළමනාකාර අධ්‍යක්ෂක ලෙස කටයුතු කරනු ලබනවා. මෙහි ජාත්‍යන්තර සබඳතා උප සභාපති ලෙස ගාමිණි ජයසිංහ මහතා කටයුතු කරනු ලබන අතර සම්මේලනයේ ලේකම් ලෙස කටයුතු කරන්නේ ගෝබිනාත් සිවරාජා මහතායි.

එමෙන්ම මේ සඳහා ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස Fortune Enterprise කටයුතු කරන අතර Cinnamon හෝටල් සමූහ නිල හෝටල් අනුග්‍රාහකයා ලෙස මෙම ක්‍රීඩාව සමඟින් එකතු වී සිටිනවා.

අද දින අන්තර්ජාලයට නිකුත් කෙරුණු නර්තනායතනයේ නිල වෙබ් අඩවිය සඳහා www.dancesportlanka.com ඔස්සේ පිවිසිය හැකි අතර ඉදිරියේ දී එය වඩාත් බලගන්වමින් ශ්‍රී ලංකා ක්‍රීඩා නර්තනයේ සියලු දෑ අන්තර්ගත වෙබ් අඩවියක් ලෙස වැඩිදියුණු කිරීමට නියමිතයි.

නර්තන විශේෂාංග කිහිපයකින් අලංකාරවත් වූ මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ඔලිම්පික් සම්මේලනයේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා, ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ අමල් එදිරිසූරිය, Fortune Enterprise හි කළමනාකාර අධ්‍යක්ෂක Zang Hong, Cinnamon Hotels & Resorts හි සාමාන්‍යාධිකාරී සහ ප්‍රාදේශීය උප සභාපති (Area Vice President – City Hotels, General Manager Cinnamon Hotels & Resorts) කමල් මුණසිංහ ඇතුළුව ක්‍රීඩා නර්තනායතනයේ නිලධාරීන් මෙන්ම සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටියා.

ශ්‍රී ලංකාවට තරමක් අලුත් වන මෙම ක්‍රීඩාව ජාත්‍යන්තරයට එතරම් අලුත් නොවන්නේ 2024 වසරේ පැවැත්වීමට නියමිත පැරිස් ඔලිම්පික් උළෙල සඳහා ද වරම් දීනූ ක්‍රීඩාවක් දක්වා මෙම ක්‍රීඩාව ව්‍යාප්ත වී ඇති නිසාවෙනි. 2028 වසරේ Los Angeles හි පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් යැවීම මෙම ක්‍රීඩා ආයතනයේ මූලික අරමුණක්.

1957 වසරේ දී ආරම්භ කෙරුණු ලෝක ක්‍රීඩා නර්තන සම්මේලනයට රටවල් 94ක් පමණ ඇතුළත් වන අතර එහි මූලස්ථානය ස්විස්ටර්ලන්තයේ පිහිටා තිබෙනවා. 1997 වසරේ දී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ අනුමැතිය සහිත සම්මේලනයක් දක්වා එය වර්ධනය වූ අතර ඔවුන් විසින් පළමු ලෝක ක්‍රීඩා නර්තන ක්‍රීඩා උළෙල 2013 වසරේ දී සංවිධානය කෙරුණා.

2018 යොවුන් ඔලිම්පික් උළෙලේ දී බ්‍රේක් ඩාන්ස් ඉසව්ව ඔස්සේ ප්‍රථම වරට ක්‍රීඩා නර්තනය ඔලිම්පික් පිටියට පිවිසි අතර මේ වන විට මෙම ක්‍රීඩාව 2024 ඔලිම්පික් උළෙල සඳහා නිල වශයෙන් ඇතුළත් වී අවසන්. එමෙන්ම 2026 වසරේ ජපානයේ දී පැවැත්වීමට නියමිත නගෝයා ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ද මෙම ක්‍රීඩාව ඇතුළත් කිරීමට අපේක්ෂාවෙන් පසුවනවා.

බාල-මහළු, ලොකු-කුඩා, දුප්පත්-පොහොසත් භේදයකින් තොරව සියලු දෙනා නර්තනයේ යෙදෙන අතර මේ වන විට එය ක්‍රීඩාවක් දක්වා පරිවර්තනය වී අවසන්. මෙරට ක්‍රීඩා නර්තන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද ජාත්‍යන්තර තලයට දොරගුළු විවර කර ගනිමින් ශ්‍රී ලංකාව තවත් ක්‍රීඩාවක් ඔස්සේ ජාත්‍යන්තරය ඉදිරියේ බබළවන්නට හැකි වනු දැකීම අප සියලු දෙනාගේම ප්‍රාර්ථනාවයි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<