1500m ඔලිම්පික් ශූරයාගෙන් ලෝක වාර්තාවක්

167

ප්‍රංශයේ පැවති ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ නෝර්වේ ජාතික Jakob Ingebrigtsen මීටර් 1500 ඉසව්වේ ගෘහස්ථ ලෝක වාර්තාව බිඳ හෙළීමට පසුගිය දා සමත්ව තිබුණා.

එම තරගාවලියේ මීටර් 1500 ඉසව්ව මිනිත්තු 3:30.60ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහණය ලැබීමට ඔහු සමත් වූ අතර ඔහු විසින් එහි දී ඉතියෝපියානු ක්‍රීඩක Samuel Tefera එම ඉසව්ව මිනිත්තු 3:31.04ක කාලයකින් අවසන් කරමින් පිහිටුවා තිබූ ලෝක වාර්තාව බිඳ හෙළීමට සමත් වීම විශේෂත්වයක්.

Samuel Tefera ද මෙම තරගයට එක්ව තිබූ නමුත් මිනිත්තු 3:33.80ක කාලයකින් තරගය අවසන් කළ ඔහුට තරගය නිමා කිරීමට ද සිදු වුනේ දෙවැන්නා ලෙසයි.

මේ වන විට 21 වැනි වියේ පසුවන Jakob Ingebrigtsen විසින් පිහිටවූ පළමු ලෝක වාර්තාව මෙය වන අතර ඔහු විසින් පසුගිය වසරේ දී මීටර් 1500 ඉසව්ව මිනිත්තු 3:31.80ක කාලයකින් අවසන් කරමින් යුරෝපානු වාර්තාව පිහිටුවීමට සමත් වුනා.

නෝර්වේ නියෝජනය කනිෂ්ඨ වියෙහි සිටම මැදි දුර ධාවනයේ ඉහළ දස්කම් දැක්වූ Jakob පසුගිය වසරේ පැවති ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී මීටර් 1500 ඉසව්ව ජය ගනිමින් එහි ඔලිම්පික් ශූරයා වීමට ද සමත් වුනා.

ඔහුට අමතරව 2021 ඔලිම්පික් උළෙලේ වේගවත්ම ක්‍රීඩකයා වූ Marcell Jacobsද මෙම තරගාවලිය නියෝජනය කළ අතර ඔහු මීටර් 60 ඉසව්ව තත්පර 6.50ක කාලයකින් අවසන් කරමින් ජය ගැනීමට සමත්ව තිබුණා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<