තේරීම් තරගාවලියේ දී වාර්තා බිඳ දමමින් පරිසාධන මට්ටම් ඉක්මවා ගිය ජයග්‍රාහකයෝ

ජාතික මලල ක්‍රීඩා පළමු තේරීම් තරගාවලිය 2022

195

මලල ක්‍රීඩා පිටිය අතිශය කාර්යබහුල වන 2022 වසරේ මලල ක්‍රීඩා පිටියේ වැඩ කටයුතු ආරම්භ කරමින් පැවති පළමු තේරීම් තරගාවලිය පසුගිය 10 වැනිදා සිට 12 වැනිදා දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.

ආසියානු ක්‍රීඩා උළෙල සහ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය ඉලක්ක කර ගනිමින් පැවති මෙම තරගාවලිය සඳහා ජාතික මලල ක්‍රීඩා පිටියේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් ආබාධ සහ විවිධ හේතූන් නිසාවෙන් සහභාගී නොවූ නමුත් තරගාවලිය පුරාවට සුවිශේෂී දස්කම් දැක්වීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වීම කැපී පෙනුණා.

තරගාවලිය පුරාවට ජාතික වාර්තා තුනක් (කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ) තුනක් බිඳ වැටුණු අතර ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ පරිසාධන සීමා ඉක්මවා යාමට සමත් වීම ද විශේෂත්වයක්.

සචිනි පෙරේරා – කාන්තා රිටි පැනීම

තේරීම් තරගාවලියේ වාර්තා වූ පළමු ජාතික වාර්තාවට හිමිකම් කීවේ සචිනි පෙරේරායි. ඒ කාන්තා රිටි පැනීම ඉසව්වෙන් මීටර් 3.65ක දස්කමක් දක්වමින්.

මෑත කාලයේ ඇය සහභාගී වූ සෑම තරගාවලියක දී ම රිටි පැනීමේ ජාතික වාර්තාව අලුත් කිරීමට සමත් වූ සචිනි අවසන් වරට පසුගිය වසරේ පැවති යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවයේ දී මීටර් 3.60ක දස්කමක් දක්වමින් ජාතික වාර්තාව අලුත් කරන්නට සමත් වුනා.

තේරීම් තරගාවලියේ ඇයගේ පළමු අවස්ථාවෙන්ම මීටර් 3.61ක උසක් වාර්තා කරමින් තමන්ගේම ජාතික වාර්තාව අලුත් කළ සචිනි, නැවතත් මීටර් 3.65ක උසක් සාර්ථකව තරණය කරමින් තමන්ගේම වාර්තාව නැවත අලුත් කරන්නට සමත් වුනා.

සාරංගි ද සිල්වා – කාන්තා දුර පැනීම

දුර පැනීම ඉසව්වේ දකුණු ආසියානු ශූරිය වන සාරංගි ද සිල්වා දේශීය මලල ක්‍රීඩා පිටියේ ආධිපත්‍ය රැක ගනිමින් පළමු තේරීම් තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත් වුනේ මීටර් 6.65ක කැපී පෙනෙන දස්කමක් සමඟිනුයි.

පසුගිය වසරේ කටාර් හී පැවති විශේෂ පුහුණු කඳවුරකට සහභාගී වීමෙන් පසුව දුර පැනීම ඉසව්වේ කාන්තා වාර්තාව දෙවරක් බිඳ හෙළන්නට සමත් වූ සාරංගි, 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දී මීටර් 6.44ක දස්කමක් සමඟින් ජාතික වාර්තාව අලුත් කරන්නට සමත් වුනා.

මෙවර තරගාවලියේ දුර පැනීම ඉසව්වේ පළමු උත්සහයෙන්ම මීටර් 6.53ක දුරක් වාර්තා කරමින් තමන්ගේම වාර්තාව අලුත් කළ සාරංගි නැවතත් මීටර් 3.65ක දුරක් වාර්තා කරමින් එම වාර්තාව නැවතත් අලුත් කළා.

ඇය වාර්තා කළ දුර ප්‍රමාණය 2018 ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනා ගත් ක්‍රීඩිකාව වාර්තා කළ දක්ෂතාවයට වඩා වැඩි වීම ද විශේෂත්වයක්.

හිරුෂ හශේන් – පිරිමි දුර පැනීම (කනිෂ්ඨ)

කනිෂ්ඨ අංශය නියෝජනය කරමින් පිරිමි දුර පැනීම ඉසව්වට සහභාගී වූ හිරුෂ හෂේන් එම ඉසව්වේ මීටර් 7.67ක දුරක් වාර්තා කරමින් කනිෂ්ඨ ජාතික වාර්තාව බිඳ හෙළීමට සමත් වුනා.

ඔහු දැක්වූ එම දක්ෂතාවය ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ පරිසාධන මට්ටම ඉක්මවා යන දස්කමක් වීම කැපී පෙනුණ අතර එම ඉසව්වේ පරිසාධන සීමාව දැක්වෙන්නේ මීටර් 7.55ක් ලෙසයි.

කෙසේ නමුත් එම ඉසව්ව සඳහා තෝරාගන්නා සමස්ත ක්‍රීඩකයින් ගණන 28ක් පමණක් වන නිසාවෙන් හිරුෂ හට තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමි වේ දැයි දැන ගැනීමට පරිසාධන කාලසීමාව අවසන් වනතුරු සිටීමට සිදුවනවා.

කවීෂ බණ්ඩාර – පිරිමි මීටර් 110 කඩුලු පැනීම (කනිෂ්ඨ)

පිරිමි කනිෂ්ඨ මීටර් 110 කඩුලු පැනීමේ ඉසව්ව නියෝජනය කළ යොවුන් ක්‍රීඩක කවීෂ බණ්ඩාර එම ඉසව්ව තත්පර 14.02ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහණය ලබා ගන්නට සමත් වුනා.

එම ඉසව්වේ ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ පරිසාධන සීමාව තත්පර 14.20ක් ලෙස සටහන් වන අතර එයට අඩු කාලයක් වාර්තා කරමින් පරිසාධන සුදුසුකම් සපුරා ගැනීමට කවීෂට හැකි වීම විශේෂත්වයක්.

මෙම ඉසව්ව සඳහා අවස්ථාව හිමි වන ක්‍රීඩකයින් සංඛ්‍යාව 56ක් පමණක් වන නිසාවෙන් කවීෂට ද පරිසාධන කාලසීමාව අවසන් වනතුරුව බලාසිටීමට සිදුවනවා.

පසිඳු මල්ෂාන් – පිරිමි තුන් පිම්ම පැනීම (කනිෂ්ඨ)

තේරීම් තරගාවලියේ කනිෂ්ඨ අංශයේ පිරිමි තුන් පිම්ම ඉසව්ව ජයග්‍රහණය කිරීමට පසිඳු මල්ෂාන්ට හැකි වුනේ මීටර් 15.68ක දස්කමක් සමඟිනුයි.

එම දස්කම සමඟින් ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ පරිසාධන සීමාව වූ මීටර් 15.55ක සීමාව පසු කිරීමට පසිඳුට හැකි වූවත්, මෙම ඉසව්ව සඳහා ද තෝරාගන්නා ක්‍රීඩකයින් ගණන 28ක් වන නිසාවෙන් ඔහුට ද පරිසාධන කාලසීමාව අවසන් වනතුරු රැඳී සිටීමට සිදුවනවා.

ධනුක දර්ශන – පිරිමි මීටර් 400 කඩුලු පැනීම (කනිෂ්ඨ)

තරගාවලියේ පිරිමි කනිෂ්ඨ මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්ව මිනිත්තු 52.21ක කාලයකින් අවසන් කරමින් ජය ගත්තේ ධනුක දර්ශන විසිනුයි.

එම ඉසව්වේ ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා පිටියේ පරිසාධන සීමාව තත්පර 53.20ක් ලෙස සටහන් වූ අතර ධනුක එම සුදුසුකම් ඉතා ඉහළින් සපුරාලීමට සමත් වීම විශේෂත්වයක්.

ධනුක දර්ශන (743)

මෙම ඉසව්ව සඳහා ද අවස්ථාව හිමි වන ක්‍රීඩකයින් ගණන 56ක් පමණක් වන නිසාවෙන් ධනුකගේ සුදුසුකම් ලැබීම ද තවමත් තහවුරු වී නැහැ.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරගාවලියේ හොඳින් දස්කම් දක්වනු දක්නට ලැබූ අතර කෙටි කලක් පිටියෙන් ඈත්ව සිටි හිටපු ජාතික ශූරිය වන රුමේෂිකා රත්නායක ද මෙම තරගාවලියේ දී නැවත දස්කම් අතරට පැමිණීම සුබ පෙරනිමිත්තක්.

2022 ජාතික මලල ක්‍රීඩා පිටියේ දෙවැනි තේරීම් තරගාවලිය ලබන මාසයේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර එය ආසියානු ක්‍රීඩා උළෙල සඳහා වන දෙවැනි තේරීම් තරගාවලියයි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<