චෙන්නායි සාමාජිකයින් ජයග්‍රහණය ගැන කියන කතා

IPL 2023

1136

16 වැනි IPL තරගාවලියේ නිමාව අද (30) අලුයම සටහන් වූ අතර එහි දී සිය පස්වැනි IPL ශූරතාව ජයග්‍රහණය කිරීමට Chennai Super Kings කණ්ඩායම සමත් වුනා.

Gujarat Titans කණ්ඩායමට එරෙහි ව අහමදාබාද් හිදි පැවැත්වුණු මෙම තරගයේ දී චෙන්නායි කණ්ඩායමේ සියලු ම පිතිකරුවන් පාහේ (Moeen Ali හැර) පිටියට පිවිසෙමින් තරග ජයග්‍රහණය වෙනුවෙන් සිය දායකත්වය ලබා දුන් අතර ඔවුන්ගෙන් කිහිප දෙනෙකු තරගයෙන් පසුව මාධ්‍යයට මෙසේ අදහස් දැක්වූවා.

අවසන් මහා තරගයෙන් පසුව IPL වලට සමුදීමට තීරණය කර සිටි Ambati Rayudu-

“මේක සුරංගනා කතාවක අවසානයක් වගේ, මට මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. මේක විශ්වාස කළ නොහැකි. මට මගේ ඉතිරි ජීවිත කාලය ම සිනහ වෙලා ඉන්න පුළුවන්. පසුගිය වසර 30ක් මුළුල්ලේ සිදු කළ සියලු කැප කිරීම් අද රාත්‍රියෙන් නිමා වුනා.”

Rayudu අවසන් වශයෙන් සිය පවුලේ සාමාජිකයින්ට ස්තුතිය පුද කළා. මේ අතර මෙවර තරගාවලියේ Chennai Super Kings කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් අතරින් තරගාවලිය ආරම්භ වීමට පෙර සිට ම සමාජ මාධ්‍ය වලින් දැඩි ප්‍රහාර එල්ල වූ ක්‍රීඩකයින් යුගලයක් ලෙස Ambati Rayudu සහ Ajinkya Rahaneව හඳුන්වා දිය හැකි.

එමෙන්ම තරගාවලිය තුල Rayudu හට බලාපොරොත්තු වූ තරම් යමක් පිත්තෙන් සිදු කිරීමට ද අවස්ථාවක් හිමි වුනේ නැහැ. නමුත් චෙන්නායි කණ්ඩායම දිගින් දිගට ම Rayudu වෙත අවස්ථාව ලබා දුන් අතර එහි උපරිම ප්‍රතිඵලය අවසන් මහා තරගයේ දී අවශ්‍ය ම මොහොතක දී Rayuduගේ පිත්තෙන් වාර්තා වූ වේගවත් ලකුණු 19න් ලැබුණු බව සැකයකින් තොරව ම පැවසිය හැකි.

මේ අතර Ajinkya Rahane විසින් ද තරගාවලිය පුරාවට පවත්වා ගෙන ආ සිය ප්‍රවේගකාරී පිතිහරඹය අවසන් මහා තරගයේ දී ද ක්‍රියාත්මක කරමින් පන්දු 13කින් ලකුණු 27ක් ලබා ගැනීමට සමත් වුනා.

“ඒක මේ තරගාවලියේ කතාවලින් එකක්. මම ඒක ගොඩක් රස වින්දා. මම හිතන්නේ එහි ගෞරවය ලැබිය යුත්තේ CSK කළමනාකාරිත්වයට සහ Mahiට. ඔවුන් තරගාවලිය ආරම්භ වෙන්න කලින් සිට ම මට සහය වෙමින් කිව්වා මගේ වගකීම මොකක් ද කියන එක.”

CSK වෙතින් තමන්ට සහ සිය කණ්ඩායම් සගයින්ට විශාල නිදහසක් ලබා දුන් බවයි Ajinkya Rahane විසින් පවසන්නේ. එමෙන් ම ඔහු විසින් සිය අවසන් තරගය ක්‍රීඩා කළ Rayuduහට ද විශේෂ ස්තුතියක් සහ ගෞරවයක් පුද කිරීමට අමතක කළේ නැහැ.

එමෙන්ම මේ තරගයේ අවසන් මොහොතේ නොසිතූ නොපැතූ ජයග්‍රහණයක් චෙන්නායි වෙත ලබා දීමට හේතුව වූ Ravindra Jadeja විසින් තරගයෙන් පසුව අවධාරණය කළේ තමන්ගේ ගමේ දී මෙවැනි දක්ෂතාවක් ප්‍රදර්ශනය කිරීමට ලැබීම විශේෂ හැඟීමක් බවයි.

“මේ කුසලානය මගේ ප්‍රදේශයේ ප්‍රේක්ෂකයින් ඉදිරියේ ලබා ගැනීමට හැකි වීම විශේෂ හැඟීමක්. මම ආවේ ගුජරාටයේ සිටයි. මේ ප්‍රේක්ෂකයින් විශේෂයි. ඔවුන් මධ්‍යම රාත්‍රිය වන තෙක් වර්ෂාව නතර වෙන කම් බලා ගෙන හිටියා. 

ඒ වගේ ම අපි කැමතියි මේ ජයග්‍රහණය අපේ කණ්ඩායමේ සිටින වඩාත් විශේෂ ම ක්‍රීඩකයා වන MS Dhoni වෙනුවෙන් වෙන් කරන්න. මේක ඔහු වෙනුවෙන්.”

මීට අමතරව තරගයෙන් අනතුරු ව බොහෝ චෙන්නායි සාමාජිකයින් විසින් මේ ජයග්‍රහණයේ සතුට සහ ඒ හැඟීම වචන වලට පෙරලීමට උත්සාහ ගන්නා අයුරු දැක ගැනීමට හැකියාව ලැබුණා.

ඔවුන් සියල්ලන් ම මේ ලද ජයග්‍රහණය පිළිබඳ බොහෝ හැඟීම්බරවයි සිය අදහස් ප්‍රකාශ කළේ.

එමෙන් ම මෙවර IPL තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ඔබට ලබා දීමට ThePapare.com විසින් සමත් වූ අතර, ඉදිරියේ දීත් ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය ලෙස ඔබ හා සමීප ව සිටීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<