2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරයින්ට ඉන්දීය කෝටි 20ක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

731

ඉන්දීය දේශීය ක්‍රිකට් පිටියේ පැවැත්වෙන ප්‍රධානතම ලීග් තරගාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පස්වැනි ශූරතාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් MS Dhoni නායකත්වය දරන Chennai Super Kings ක්‍රීඩකයින් Gujarat Titans කණ්ඩායම සමඟ අද (29) තරග වැදීමට නියමිතයි.

මෙවර තරගාවලියේ පළමු තරගයේ දී මෙම කණ්ඩායම් ද්විත්වය මුණ ගැසුණු අතර එම තරගයේ ජයග්‍රහණය ලබා ගත්තේ වත්මන් ශූරයින් වන Gujarat Titans කණ්ඩායමයි.

ප්‍රසාද ලකුණු සටහනේ පළමුවැන්නා ලෙස මූලික වටය අවසන් කළ Gujarat Titans ක්‍රීඩකයින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ පළමු තරගය Chennai Super Kings හමුවේ පරාජයට පත් වූවත්, දෙවැනි තරගයේ දී මුම්බායි කණ්ඩායම පරදවමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඔවුන් සමත් වුනා.

තරගාවලියේ පළමු අදියරේ අනුශූරතාව දිනා ගැනීමට Chennai Super Kings සමත් වූ අතර එම තරගාවලියේ ශූරතාවය  Rajasthan Royals ක්‍රීඩකයින්ට හිමි වූ මුදල ඉන්දීය රුපියල් කෝටි 4.8ක්. අනුශූරතාව දිනූ Chennai ක්‍රීඩකයින්ට කෝටි 2ක මුදලක් හිමි වුනා.

තරගාවලියේ 16 වැනි අදියර වන මෙම අදියර සඳහා ලබා දෙන ත්‍යාග මුදල් ඉතා ඉහළ වන අතර මෙවර තරගාවලියේ සියලු කණ්ඩායම් අතර ඉන්දීය කෝටි 46.5ක මුදලක් බෙදා දීමට නියමිතයි.

මෙවර තරගාවලිය තෙවැන්නා ලෙස අවසන් කළ මුම්බායි කණ්ඩායමට කෝටි 7ක මුදලක් සහ සිව්වැනි ස්ථානයේ තරගාවලිය අවසන් කළ ලක්නව් කණ්ඩායමට කෝටි 6.5ක මුදලක් හිමි වෙනවා.

මෙවර තරගාවලියේ ශූරයින්ට ඉන්දියන් රුපියල් කෝටි 20ක මුදලක් ලබා දීමට නියමිත අතර තරගාවලියේ අනුශූරයින් වන කණ්ඩායම සඳහා ඉන්දියන් රුපියල් කෝටි 13.5ක මුදලක් හිමි වෙනවා.

මීට අමතරව තරගාවලියේ නැගී එන ක්‍රීඩකයාට ලක්ෂ 20ක්, වටිනාම ක්‍රීඩකයාට ලක්ෂ 12ක්, තරගාවලියේ තරග වෙනස් කරන්නාට සහ Power Player සඳහා ලක්ෂ 15 බැගින් ලබා දීමට නියමිතයි.

එමෙන්ම මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියාට ඉන්දියන් රුපියල් ලක්ෂ 15ක් සහ වැඩිම ලකුණු ලාභියාට ඉන්දියන් ලක්ෂ 15 බැගින් හිමි වෙනවා.

මෙවර IPL තරගාවලියේ අවසන් මහා තරගය  ThePapare.com වෙතින් ඔබට සජීවී ව නැරඹීමේ අවස්ථාව ඔබට හිමි වී තිබෙනවා, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<