මංගල LPL ක්‍රීඩක වෙන්දේසියට දින තීන්දුයි

ලංකා ප්‍රිමියර් ලීගය 2023

1876

ජුනි 11 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ 2023 LPL ක්‍රීඩක වෙන්දේසිය ජුනි 14 වැනිදා කොළඹ, Shangri-La හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සහ IPG ආයතනය සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (29) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කළා.

සිව්වැනි LPL තරගාවලිය ජූලි 30 වැනිදා සිට අගෝස්තු 30 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස සහ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලිය සඳහා සුපුරුදු පරිදි කණ්ඩායම් 5ක් (Colombo Strikers, Dambulla Aura, Galle Gladiators,Jaffna Kings සහ Kandy Falcons) එක් වන නමුත් ඉන් කණ්ඩායම් දෙකක (Kandy සහ Colombo) හිමිකාරිත්වය වෙනස් වී තිබෙනවා.

ක්‍රීඩක වෙන්දේසියේ දී, එක් කණ්ඩායමකට උපරිම ක්‍රීඩකයින් 24 දෙනෙක් සහ අවමය ක්‍රීඩකයින් 20 දෙනෙක් ලෙස සංචිතගත කර ගැනීමට හැකිව තිබෙන අතර, ඒ අතරට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙක් එක් කර ගැනීමට ද හැකියාව පවතිනවා.

ක්‍රීඩක වෙන්දේසියේ දී මිල දී ගනු ලබන ක්‍රීඩකයින් සහ වෙන්දේසියට පෙර සෘජුව ගිවිසුම්ගත වන ක්‍රීඩක ආදේශන ද ඇතුලත්ව එක් කණ්ඩායමකට ඇමරිකානු ඩොලර් මිලියනය බැගින් වියදම් කිරීමට අවස්ථාව ලැබෙනවා. එසේම එක් කණ්ඩායමකට වෙන්දේසියට පෙර ක්‍රීඩකයින් සිව්දෙනෙක් හෝ තිදෙනෙක් සමඟ සෘජුව ගිවිසුම්ගත වීමට හැකියි.

ඒ අනුව, මේ සෘජු ගිවිසුම්ගත වීම් 4ක් වෙනුවෙන් ඒ ඒ කණ්ඩායමට උපරිම ලෙස ඇමරිකානු ඩොලර් 500,000ක මුදලක් වැය කිරීමට හැකි අතර ඉතිරි ඇමරිකානු ඩොලර් 500,000ක මුදල වෙන්දේසිය තුල භාවිතා කිරීමට අවස්ථාව ලැබෙන අතර සමස්ත කණ්ඩායම් 5 වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙන්දේසිය තුල භාවිතා කිරීම වෙනුවෙන් ලබා දෙනවා.

දෙස් විදෙස් කෙළිබිමේ උණුසුම් තොරතුරු ගැන දැන ගන්න, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<