Iyer සහ Kishanට BCCI වාර්ෂික කොන්ත්‍රාත්තුව අහිමි වෙයි!

BCCI Central Contract List

677
Ishan Kishan & Shreyas Iyer

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින් අද (28) දිනයේ ප්‍රකාශයට පත් කළ සිය වාර්ෂික මධ්‍යම කොන්ත්‍රාත්තුවෙන් Shreyas Iyer සහ Ishan Kishan යන ක්‍රීඩකයින්ගේ නම් ඉවත් කර තිබෙනවා. 

ක්‍රීඩකයින් 30 දෙනෙකුගෙන් සමන්විත මෙම කොන්ත්‍රාත්තුවේ A+ කාණ්ඩයට සුපුරුදු පරිදි ඉන්දීය නායක Rohit Sharma, Virat Kohli, Jasprit Bumrah සහ Ravindra Jadeja යන ක්‍රීඩකයින් ඇතුළත් වී තිබෙනවා. 

කෙසේ වෙතත් අද මෙම ක්‍රීඩක ලැයිස්තුව එළි දැක්වීමෙන් පසුව විශේෂ අවධානයක් යොමු වුනේ Shreyas Iyer සහ Ishan Kishanගේ නම් එහි නොමැති වීම පිළිවඳවයි. 

නිමා වූ එක්දින ලෝක කුසලානයේ දී පිතිකරණයෙන් කැපී පෙනෙන දක්ෂතා පෙන්වීමට Iyer විසින් සමත් වූ නමුත්, ඉන් පසුව ඔහුගෙන් බලාපොරොත්තු වූ තරම් දායකත්වයක් ඉන්දීය කණ්ඩායමට ලැබුණේ නැහැ. 

එමෙන්ම ඔහු පිට කොන්දේ ආබාධයක් ඇති බව පවසමින් මීට පෙර ඉන්දීය රංජි කුසලානයට ක්‍රීඩා කිරීම මඟ හැරි බව ද වාර්තා වුනා. 

එමෙන්ම Ishan Kishan විසින් ද ඉන්දීය කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය පෞද්ගලික හේතූන් මත මඟ හැරි අතර, එයින් පසුව ද කිසිඳු අන්දමක දේශීය තරගයක දී හෝ ඔහුව දැක ගැනීමට ලැබී නැහැ. 

මේ අතර BCCI විසින් මෙම වාර්ෂික කොන්ත්‍රාත්තුව එළි දැක්වීමට පෙර අවධාරණය කර සිටියේ ක්‍රීඩකයින්ට ජාතික කණ්ඩායම සමඟ තරග නොමැති ඕනෑම අවස්ථාවක දේශීය තරග සඳහා සහභාගී වීමට මූලිකත්වය ලබා දිය යුතු බවයි. එම නිසා මෙම කරුණ සහ Iyer, Kishan යුගලයට කොන්ත්‍රාත්තුව අහිමි වීම අතර යම් සම්බන්ධයක් ඇති බවත් අනුමාන කළ හැකි. 

Iyer මීට පෙර BCCI කොන්ත්‍රාත්තුවේ B කාණ්ඩයේ සිටි අතර, Kishanගේ නම C කාණ්ඩයේ රැඳී තිබුණා. එමෙන්ම මෙතෙක් කල් B කාණ්ඩයේ රැඳී සිටි Mohommed Siraj, KL Rahul සහ Shubman Gill තිදෙනා ම මෙවර A කාණ්ඩය දක්වා ඉහළට පැමිණ තිබෙනවා. 

මේ අතර එංගලන්තය සමඟ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී කැපී පෙනෙන දක්ෂතා පෙන්වූ නවක ක්‍රීඩක Yashasvi Jaiswal සිය පළමු BCCI කොන්ත්‍රාත්තුව ලබමින් B කාණ්ඩයට ඇතුළත් වී තිබෙනවා. එමෙන්ම Kuldeep Yadav B කාණ්ඩය දක්වා උසස් වීමක් ලබා තිබෙනවා. කෙසේ වෙතත් වසරකට අධික කාලයක් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටින Rishab Pant B කාණ්ඩය දක්වා පහතට දමා තිබීමත් විශේෂත්වයක්. 

මේ අතර Rinku Singh, Tilak Verma, Ruturaj Gaikwad, Shivam Dube, Rajat Patidar වැනි නවක ක්‍රීඩකයින් රැසක් සිය පළමු BCCI කොන්ත්‍රාත්තුව ලබමින් C කාණ්ඩයට ඇතුළත් වී තිබීමත් විශේෂත්වයක්. 

එමෙන්ම Iyerට සහ Kishanට අමතරව Cheteshwar Pujara, Umesh Yadav, Shikar Dhawan, Deepak Hooda සහ Yuzvendra Chahal යන ක්‍රීඩකයින් ද BCCI කොන්ත්‍රාත්තුව නොලද ප්‍රසිද්ධ ක්‍රීඩකයින් ලෙස හඳුන්වා දිය හැකි. 

කෙසේ වෙතත් මෙම කොන්ත්‍රාත්තු කාණ්ඩ සඳහා නියම කර ඇති මුදල් පිළිබඳ ව නම් BCCI විසින් හෙළිදරව් කර නැහැ. නමුත් A+ = ඉන්දීය කෝටි 7ක්, A = කෝටි 5, B = කෝටි 3ක් සහ C = කෝටි 1ක් ලෙස මෙම මුදල් බෙදී යනු ඇති බවයි ESPN Cricinfo වෙබ් අඩවිය අනුමාන කරන්නේ. 

BCCI වාර්ෂික කොන්ත්‍රාත්තුවට එක් වූ ක්‍රීඩකයින්, 

  • A+ කාණ්ඩය: Rohit Sharma, Virat Kohli, Jasprit Bumrah and Ravindra Jadeja 
  • A කාණ්ඩය – R Ashwin, Mohammed Shami, Mohammed Siraj, KL Rahul, Shubman Gill, Hardik Pandya 
  • B කාණ්ඩය – Suryakumar Yadav, Rishabh Pant, Kuldeep Yadav, Axar Patel, Yashasvi Jaiswal. 
  • C කාණ්ඩය – Rinku Singh, Tilak Verma, Ruturaj Gaikwad, Shardul Thakur, Shivam Dube, Ravi Bishnoi, Jitesh Sharma, Washington Sundar, Mukesh Kumar, Sanju Samson, Arshdeep Singh, KS Bharat, Prasidh Krishna, Avesh Khan, Rajat Patidar 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

ESPN Cricinfo ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<