මැරතන් කුරේට උදවු නැතත් රට වෙනුවෙන් එයි

121

ශ්‍රී ලංකාව වෙනුවෙන් එළැඹෙන රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට වරම් ලබා ඇති අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වීම සඳහා මේ වන විටත් බීජිං නුවරට ළඟා වී ඇති අතර ඔහු තෙවරක් ඔලිම්පික් වරම් ලැබූ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වීමද විශේෂත්වයකි.

තම දක්ෂතාවන් පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රීඩා බලධාරීන්ගේ නිසි අවධානයක් යොමු නොකිරීමේ තත්ත්වයක් තුළ පවා තමන් කිසිදිනක අධෛර්යයට පත්නොවන්නේය යන ලක්ෂණය පෙන්නුම් කරමින් කුරේ මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට පැමිණ තිබීමද අගය කළ යුතුය. 2016 වසරේදී බ්‍රසීලයේ රියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා “ඒ” ශේ්‍රණියේ පරිසාධන මට්ටම ඉක්මවා සුදුසුකම් ලැබීමටද ඉන්ද්‍රජිත් කුරේ සමත්වී ඇත. වර්තමානයේදී ලන්ඩනයේ වාසය කරන ඔහු 22දා ඇරැඹෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට මැරතන් ක්‍රීඩා ඉසව්වට සහභාගි වීම සඳහා පැමිණියේ තමාගේම වියදමින් කෙන්යාවේදී සිදුකරන ලද සති 4ක විශේෂ පුහුණුවකින් පසුවය.

ඔහු චීනයේ බීජිං නගරයට පැමිණීමට පෙර පසුගිය සතියේ ශ්‍රී ලංකාවට පැමිණි අතර එහිදී ඔහු හමුවූ අවස්ථාවේ “මව්බිම”ට පවසා සිටියේ ඔලිම්පික් යන ගමනට පෙරහුරුවක් වශයෙන් මෙම මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගි වී වඩාත් හොඳ තරග නිමි කාලයක් වාර්තා කිරීමට බලාපොරාත්තු වන බවයි. බීජිං නුවර දේශගුණය අංශක 30ක පමණ උෂ්ණත්වයක් දරන බැවින් සෑම ධාවකයකුම පැය 2 මිනිත්තු 11ක කාලයකින් මැරතන් තරගය නිම කිරීමට සැලැසුම් කර ඇති බව කී කුරේ තවදුරටත් කියා සිටියේ එම කාල සීමාව තුළ ධාවනය කිරීමට තමන්ට හැකිවුවහොත් රන් පදක්කමක් ලබා ගැනීමේ ඉලක්කයද තමන්ට පසු කළ හැකි බවයි.