Colombo FCට මුල්ම ජය; Defenders, Renown ගැටුම අවලංගුයි

Super League Pre-Season 2021

237

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරන Super League 2021 පාපන්දු තරගාවලියේ පූර්ව තරග කාලසීමාවේ (Pre-Season) අද (18) පැවැත්වීමට නියමිතව තිබූ මුල්ම තරගය වූ Defenders FC සහ Renown SC තරගය අවලංගු කෙරූ අතර පැවති අනෙක් තරගයෙන් Blue Eagles SC පරදවා ජයග්‍රහණය ලබා ගැනීමට Colombo FC ක්‍රීඩකයන් සමත් විය.

Defenders – Renown

තරගය ආරම්භයට පෙර සිදු කළ කොරෝනා පරීක්ෂාවල දී Renown කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ ක්‍රීඩකයෙකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වීම නිසාවෙන් මෙම තරගය කල් දමන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් නිවේදනය කර තිබුණි.

ඒ සමඟින් එම දෙදෙනා සමීපව ඇසුරු කළ Renown කණ්ඩායමේ තවත් ක්‍රීඩකයන් සහ කණ්ඩායම් නිලධාරීන් හට දින හයක් ස්වයං නිරෝධායනයට යොමු වන ලෙස සෞඛ්‍ය බලධාරීන් දැනුම් දී ඇත.

එම ක්‍රීඩකයන් ඇතුළු සම්පූර්ණ Renown කණ්ඩායම නැවතත් දින හයකින් PCR පරීක්ෂාවලට යොමු කිරීමට නියමිතව ඇති අතර එහි ප්‍රතිඵලවලට අනුව එම තරගය නැවත පැවැත්වෙන දිනයන් සහ Renown කණ්ඩායමේ ඉදිරි තරග පිළිබඳව තීරණයක් ගනු ඇත.

තවත් පාපන්දු පුවත්:

Blue Eagles SC – Colombo FC

තරගය ආරම්භයේ පටන්ම Blue Eaglesට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට Colombo FC ක්‍රීඩකයන් සමත් වූ නමුත් ගෝලයක් ලබා ගැනීමට තිබූ ආසන්නතම අවස්ථාවක් Colombo ක්‍රීඩක බොඩ්‍රික් දිමිත්‍රිට මගහැරුනි.

ඉන්පසුව Blue Eagles ක්‍රීඩකයන් ද තරමක ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කිරීමට සමත් වූ නමුත් තරගයේ 40 වැනි මිනිත්තුවේ දී ශබීර් රසූනියා යොමු කළ පන්දුවක් ඉතාමත් සාර්ථකව ගෝල රාමුව වෙත එල්ල කරමින් තරගයේ පළමු ගෝලය රැස් කිරීමට දිමිත්‍රි සමත් විය.

එම ගෝලයෙන් පසුව පළමු අර්ධයේ දී තවත් කිසිදු ගෝලයක් වාර්තා කිරීමට කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් අසමත් වීම නිසාවෙන් Colombo ක්‍රීඩකයන්ට වාසි ගෙන දෙමින් පළමු අර්ධය අවසන් විය.

තරගයේ දෙවන අර්ධය සිය පාලනයට ගනිමින් ප්‍රතිවාදීන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට Colombo ක්‍රීඩකයින් සමත් වූ නමුත් Blue Eagles ගෝල රකින ක්‍රීඩකයාගේ දක්ෂ නවතාලීම් නිසාවෙන් ගෝල ලබාගැනීමට තිබූ අවස්ථා කිහිපයක්ම ඔවුන්ට අහිමි විය.

නමුත් තරගයේ 85 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුව වෙත යොමු කළ පන්දුවක් හිසින් ගෝල රාමුව වෙත යොමු කරමින් සිය කණ්ඩායමේ දෙවන ගෝලය වාර්තා කරමින් ජයග්‍රහණය තහවුරු කිරීමට යොවුන් ක්‍රීඩක රසූනියා සමත් විය.

අවසන් ලකුණු තත්වය: Colombo FC 02 (01) – 00 (00) Blue Eagles SC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්:

  • Colombo FC: බොඩ්‍රික් දිමිත්‍රි 40’, ශබීර් රසූනියා 85’

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<