හිටපු ඉන්දීය සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයාත් LPL කණ්ඩායමකට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2020

705
Irfan Pathan to play for Kandy Tuskers

ඉන්දියාවේ හිටපු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ඉර්ෆාන් පතාන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මහනුවර Tuskers වෙනුවෙන් ක්‍රීඩා කිරීම වෙනුවෙන් එකඟතාවය පළ කොට ගිවිසුම් අත්සන් කර ඇත. ඒ බව එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන හෂාන් තිලකරත්න මහතා සහ පතාන් දෙදෙනාම ESPNcricinfo වෙබ් අඩවිය වෙත තහවුරු කර ඇත.

මීට අමතරව මහනුවර Tuskers වෙනුවෙන් ක්‍රීඩා කරනු ලබන ප්‍රධාන ක්‍රීඩකයින් අතර කුසල් පෙරේරා, ක්‍රිස් ගේල්, ලියම් ප්ලන්කට් සහ  වහබ් රියාස් වැනි ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම සිටියි.

තවත් ක්‍රිකට් පුවත්:

දැනට වයස 36ක් වන පතාන් 2019 වසරෙන් පසුව විස්සයි විස්ස ක්‍රිකට් තරග ක්‍රීඩා කර නොමැති අතර ඔහු මේ වන විට  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ විස්තර විචාරකයෙක් ලෙස වැඩ කටයුතු කරයි.

“ඔව් මම විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තා. ඒ වුනත් මම ක්‍රිකට් සෙල්ලම් කරන්න ගොඩක් ආසයි. ඒක නිසා මම විවිධ රටවල් වල පැවැත්වෙන ක්‍රිකට් තරගාවලි සෙල්ලම් කරනවා. මම අවසන් වසර දෙකක කාලයේ ලොකු ක්‍රිකට් එකක් ගැහුවේ නැහැ. අන්තිමට මම විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කළේ ඉන්දීය legends කණ්ඩායමට. 

මම හිතන්නේ මට තවමත් ක්‍රිකට් සෙල්ලම් කරන්න පුළුවන්. හෙමින් හෙමින් පටන් අරගෙන බලනවා මට කොහොමද ක්‍රීඩා කරන්න පුළුවන් කියලා. ඒ තත්වය බලලා තව පුළුවන් කාලයක් ඉදිරියට අරගෙන යන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා” යැයි පතාන් ESPNcricinfo වෙත පවසා ඇත.

ඉන්දියාවේ ප්‍රධානම දේශීය ක්‍රිකට් තරගාවලියක් වන Ranji Trophy 2019/20 තරගාවලියේ Jammu සහ Kashmir කණ්ඩායමේ උපදේශකවරයෙක් ලෙස ඔහු කටයුතු කළේය. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරග 24කට සහභාගී වෙමින් ලකුණු 172ක් ඔහු ලබාගෙන ඇත්තේ කඩුලු 28ක් දවා ගනිමිනි. ඊට අමතරව IPL තරග ඉතිහාසයේ Kings XI Punjab සහ Delhi Daredevils ඇතුළු කණ්ඩායම් කිහිපයකම නියෝජනය කළ පතාන් 2020 වසරේ ජනවාරි මාසයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය සඳහා සමුදෙන ලදි.

මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදින Andre Russell ආබාධයකට ලක්ව සිටින නිසාවෙන් LPL තරගාවලියට සහභාගී නොවන බව දන්වා ඇති අතර Manvinder Bisla තරගාවලිය සඳහා සහභාගී නොවන්නේ කුමන හේතුවක් මත ද යන්න නිල වශයෙන් තහවුරු කර නොමැත.

මෙම ක්‍රීඩකයින් දෙදෙනාට අමතරව Faf du Plessis, David Miller සහ Dawid Malan යන ක්‍රීඩකයින් LPL තරගාවලිය සඳහා සහභාගී නොවේ. ඒ දකුණු අප්‍රිකානු දේශීය ක්‍රිකට් තරගාවලිය සහ ලබන මස අවසානයේ දී ආරම්භ වන දකුණු අප්‍රිකා – එංගලන්ත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලි නිසාවෙනි.

නොවැම්බර් මස 14 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ ‘ලංකන් ප්‍රිමියර් ලීග්’ තරගාවලිය (LPL) නොවැම්බර් මස 21 වැනිදා දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදු වූයේ රජය විසින් පනවා ඇති නිරෝධායන රෙගුලාසි සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

නව තරග කාලසටහනට අනුව තරගාවලිය නොවැම්බර් මස 21 වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර තරග පල්ලෙකැලේ දී සහ හම්බන්තොට දී පැවැත්වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<