IPL විදෙස් ක්‍රීඩකයන් තවත් අර්බුදයක

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

205

ලොව ධනවත්ම ක්‍රිකට් ලීගය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරමඟ නවතා දැමීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය ඊයේ (04) තීරණය කළා. ඒ තරගාවලියේ ක්‍රීඩකයන් කීපදෙනෙකු සහ සෙසු නිලධාරීන් කීපදෙනෙකුටම කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන්.

කෙසේ වෙතත් මේ වන විට ඉන්දියාව තුල පවතින දරුණු කොරෝනා අවදානම සැලකිල්ලට ගනිමින් ලොව රටවල් රැසක්ම ඉන්දියාවේ සිට පැමිණෙන ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. එවන් වාතාවරණයක් තුල ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වූ විදෙස් ක්‍රීඩකයන් නැවත සිය රටවල් බලා යාමේ දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා.

මෙලෙස ඉන්දීය ගුවන් ගමන් අවලංගු කළ රටවල් අතරින් ප්‍රමුඛ ස්ථානයක් හිමිවන්නේ ඕස්ට්‍රේලියාවටයි. ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් රැසක්ම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කිරීම එයට හේතුවයි.

මේ වන විට උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

“ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය සහ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය විදිහට අපිට ඉන්දීය ක්‍රිකට් ආයතනය ගත් මෙම තීරණය තේරුම් ගන්න පුළුවන්. ක්‍රීඩකයන්ගේ සහ සෙසු අයගේ සෞඛ්‍යාරක්ෂිත බව තමයි මූලික දේ වෙන්න ඕනේ. ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විදිහට අපි ඉන්දීය ක්‍රිකට් ආයතනය එක්ක මේ තත්ත්වය ගැන සෘජුවම සාකච්ඡා කරමින් ඉන්නවා. ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්, පුහුණුකරුවන්, තරග විනිසුරුවන් සහ විස්තර විචාරකයින් සෞඛ්‍යාරක්ෂිතව එරට රඳවා ගැනීම තමයි අපේ මූලික අරමුණ වෙන්නේ” ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය උපුටා දක්වමින් ESPNcricinfo වෙබ් අඩවිය වාර්තා කළා.

“අපි විශ්වාස කරනවා ඕස්ට්‍රේලියානු රජය මේ ඉන්දීය ගමන් තහනම එළඹෙන මැයි 15 වැනිදා අවසන් කරාවි කියලා. ඒ වගේම අපි ස්තූතිවන්ත වෙනවා ඉන්දීය ක්‍රිකට් ආයතනයට මේ ක්‍රීඩකයන් ආරක්‍ෂිතව තබා ගන්න ගන්න උත්සාහයන් සම්බන්ධයෙන්.” 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට කොරෝනා අවදානමක් එල්ල වූයේ පසුගිය සඳුදායි. එහි දී Kolkata Kinght Riders නියෝජනය කළ Sandeep Warrier සහ Varun Chakravarthy හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුනා. ඒ අනුව එදින පැවැත්වීමට නියමිතව තිබූ Kolkata Kinght Riders සහ Royal Challengers Bangalore අතර තරගය ද කල්දැමුණා. ඉන් අනතුරුව Chennai Super Kings හි නිලධාරීන් තිදෙනෙකුට වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වුනා. එයට L. Balaji ද ඇතුළත් වුනා. 

තත්ත්වය එසේ තිබිය දී තරගාවලිය අවලංගු කිරීමට ප්‍රධානතම හේතුව වූයේ Sunrises Hyderabad හි Wriddhiman Saha සහ Delhi Capitals හි Amit Mishra හට වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වීමයි.

ඉන් අනතුරුව රැස්වූ ඉන්දීය ක්‍රිකට් ආයතනය, තරගාවලි සංවිධායකයන් සහ කණ්ඩායම් හිමිකරුවන් තරගාවලිය අවලංගු කිරීමට තීරණය කළා. 

“ඉන්දීය ක්‍රිකට් ආයතනයට කිසිම ක්‍රීඩකයෙක්ගේ හෝ සහය කාර්‍යමණ්ඩලයේ හෝ වෙනත් කිසිම කෙනෙක්ගේ ආරක්ෂාව සුළුවෙන් සලකන්නම බැහැ. මේ තීරණය ගත්තේ තරගාවලියට සම්බන්ධ සියලු දෙනාගේම ආරක්ෂාව වෙනුවෙන්. ඉන්දියාවටම මේ කාලය අමාරු කාලයක්. ඒ වගේ කාලයක් තුල තරගාවලිය පවත්වන එකෙන් අපි බලාපොරොත්තු වුනේ ක්‍රීඩාලෝලීන්ට සහ මේ රටේ ජනතාවට සුළු හෝ ධනාත්මක මානසිකත්වයක් ලබාදෙන එක. තරගාවලිය අවලංගු කිරීමත් එක්ක සියලු දෙනාට ඔවුන්ගේ පවුල් වෙත ගිහින් මේ දුෂ්කර කාලය තුල ඔවුන් එක්ක ඉන්න අවස්ථාව ලැබෙනවා” ඉන්දීය ක්‍රිකට් ආයතනය පවසා සිටියා.

තවත් ක්‍රිකට් පුවත්:

මේ අතර ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් නැවත එරටට යැවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි අධ්‍යක්ෂක Brajesh Patel පවසා සිටියේ ඔවුන් එම ක්‍රීඩකයන් ආරක්‍ෂිතව නැවත ගෙන යාමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවයි.

“අපිට ඕනේ ඔවුන්ව ආරක්‍ෂිතව නිවෙස් බලා යවන්න. අපි ඒකට යම් ක්‍රමවේදයක් සොයාගන්න බලාපොරොත්තු වෙනවා” Brijesh Patel PTI වෙත පවසා තිබුණා. 

මීට දින කීපයකට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Glenn Maxwell පවසා සිටියේ ඔහු සහ සෙසු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් විශේෂ ගුවන් යානයකින් එංගලන්තය බලා යාමට බලාපොරොත්තු වන බවයි.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු රජය විසින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් නැවත එරටට ගෙන්වා ගැනීමට අවසර නොදීම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වී සිටින විස්තර විචාරකයෙකු වන Michael Slaterගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබුණා.

“අපේ රජය ඕස්ට්‍රේලියානු පුරවැසියන්ගේ ආරක්ෂාව ගැන හිතනවා නම් ඔවුන් අපිව නැවත ගෙන්වා ගන්න ඕනේ. මේක ලොකු අගෞරවයක්. මේකට වගකියන්න ඕනේ අග්‍රාමාත්‍යවරයා. ඔවුන් කොහොමද අපිට මෙහෙම දෙයක් කරන්නේ? ඔවුන් නිරෝධායන සැලැස්මක් හදන්න ඕනෙ. මම රජයෙන් අවසර ඇරන් මේ තරගාවලියට සහභාගී වුනේ. දැන් ඔවුන් මට මගේ රටට එන්න අවසර දෙන්නේ නැහැ” Twitter පණිවිඩයක් නිකුත් කරමින් Slater පවසා තිබුණා.

ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය සඳහා සහභාගී වීමට ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම ජුනි 18 වැනිදා එංගලන්තය බලා යාමට නියමිතයි.

Hindustan Times ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<