ශතකය අහිමි වූවත් වාර්තා පොත් අලුත් කළ කොදෙව් කසකරුවා

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2020

232

IPL තරගාවලි ඉතිහාසයේහි කිසිදා නොමැකෙන සටහන් රැසක් තැබූ සුවිශේෂී පිතිකරුවෙකු ලෙස සුපිරි කොදෙව් ආරම්භක පිතිකරු Chris Gayle අවිවාදයෙන් හඳුන්වාදිය හැක්කේ ඔහුගේ නම ඇසූ සැනින් අදටත් ඕනෑම පන්දු යවන්නෙකුගේ සිතෙහි යම් දෙගිඩියාවක් නියතවම ඇති වන නිසාවෙනි. 

ලීග් වටයේහි අවසානය සනිටුහන් කරමින් Rajasthan Royals කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී පන්දු 63ක් පමණක් වැය කරමින් ලකුණු 99ක ප්‍රවේගකාරි ඉනිමක් දියත් කළ Gayle, ඉතාමත් අවාසනාවන්ත අයුරින් ඔහුගේ ඉනිම නිමාවට පත්කළේ ශතකයේ කඩඉමට එක් ලකුණක් පමණක් ඉතිරිව තිබිය දී වීම වඩාත් කැපී පෙනුනි.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

 

පිටිය සිසාරා පහර පිට පහර එල්ල කරමින් තම සුපුරුදු තරග රටාවට අවතීර්ණ වූ Gayle, හයේ පහර 8කින් සහ හතරේ පහර 6කින් තම ඉනිම වර්ණවත් කරගත්තේ Kings IX කණ්ඩායමේ මුළු ලකණු සංඛ්‍යාව ද 185 දක්වා ඉහළ නංවාලමිනි. කෙසේනමුත් IPL තරගාවලිය තුළදී වාර්තා කළ 7වන ශතකයේ හිමිකාරීත්වය තමන් සතුකර ගැනීමේ අපේක්ෂාවෙන් පිතිහරඹයෙහි නියැළුණු Gayleගේ සිහින බොඳ කර දැමූවේ එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක Jofra Archer විසිනි. ඔහු යැවූ වේගවත් පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසාවෙන් මෙවර ගේල්ට පිටියෙන් ඉවත් වීමට සිදුවිය.

මෙහිදී තමන් අපේක්ෂා කළ පරිද්දෙන් ශතකයේ කඩඉම වෙත ළඟාවීමට නොහැකි වුවද තවත් පිතිකරණ වාර්තාවක් අලුත් කිරීමේ අවස්ථාව Gayle විසින් උදාකර ගත්තේ IPL තරගාවලි ඉතිහාසයේහි තමන් විසින් එල්ල කළ 1000වැනි හයේ පහර එල්ල කරමිනි. ඒ අනුව වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ ක්‍රීඩක ලැයිස්තුවේ පළමු ස්ථානය තවදුරටත් ආරක්ෂා කරගැනීමට Gayle සමත්ව ඇති අතර මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ Kieron Pollard එම නාමාවලියෙහි දෙවන ස්ථානයෙහි පසුවන්නේ දියත් කළ මුළු හයේ පහර සංඛ්‍යාව 690ක් ලෙස සටහන් කරමිනි.

තරගාවලියේ පළමු තරග කිහිපය සඳහා දායකත්වය ලබාදීමේ අවස්ථාව අහිමි වී ගියද අවසන් වරට පැවැත්වූ තරග පහ තුළදීම සුවිශේෂී කාර්‍යභාර්‍යක් තම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ඉටු කිරීමට ක්‍රිස් ගේල් සමත්කම් දැක්වීය. ප්‍රසාද ලකුණු සටහනේ පහළම අඩියට ඇද වැටී තිබුනු Kings IX ගමන්මඟ තීරණාත්මක සන්ධිස්ථානයක් වෙත රැගෙන ඒමට ගේල්ගේ ප්‍රවේගකාරී පිතිහරඹය මහත් සේ පිටුවහලක් විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ වන විට Kings IX Punjab කණ්ඩායම හට මෙවර තරගවාරයේ අවසන් කණ්ඩායම් හතර අතර සිය ආසනය වෙන්කර ගැනීමට හැකිව තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<