‘Bangabandhu T20’ තරගාවලිය සඳහා වැඩ අරඹයි

338

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ මෙම වසරේ අදියර නොපැවැත්වීම නිසාවෙන් එයට ආදේශයක් ලෙස ‘Bangabandhu T20’ තරගාවලිය පැවැත්වීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. එම තරගාවලිය සඳහා දේශීය තලයේ ක්‍රීඩකයන් එක්කර ගනිමින් කණ්ඩායම් පහක් සහභාගී වන තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිතව ඇත. 

ඒ අනුව පසුගිය අඟහරුවාදා (27) දින බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් මෙම තරගාවලියේ කණ්ඩායම් 5හි අනුග්‍රාහකත්වය ලබාගැනීම සඳහා කැමැත්ත දක්වන සමාගම්, ව්‍යාපාර ආයතන ඇතුළු සියලුම දෙනාට සිය කැමැත්ත ප්‍රකාශ කරන ලෙස දන්වා ඇති අතර එම අදාළ පාර්ශවයන් වෙත සිය කැමැත්ත ප්‍රකාශ කිරීම සඳහා නොවැම්බර් මස 01 වනදා තෙක් අවස්ථාව හිමිවනු ඇත

තවද මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයන් කණ්ඩායම් ගත කරන ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත් වන ක්‍රීඩකයන් සියල්ලම පාහේ යෝග්‍යතා පරීක්ෂණය සඳහා ඉදිරිපත් වීම අනිවාර්යය වන බවත්, එම යෝග්‍යතා පරීක්ෂණය ක්‍රීඩක ලැයිස්තුව සම්පූර්ණ කිරීමෙන් පසු පැවැත්වීමට නියමිතව ඇති අතර තරගාවලියේ සමස්ත ක්‍රියාවලිය පිළිබඳව අවසන් තීරණය අනුග්‍රාහකයන් තහවුරු වීමෙන් පසු ගන්නා බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ඊයේ (30) දින ප්‍රකාශ කරන ලදි. 

මේ පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් BCB සාමාජික Minhajul Abedin සඳහන් කර තිබුනේ රට වසා තැබුනු කාලසීමාව තුළදී ප්‍රධාන පෙළෙහි ක්‍රීඩකයන් සහ යොවුන් ක්‍රීඩකයන් තනි තනිව සිය පුහුණුවීම් සහ ශරීර යෝග්‍යතා ක්‍රියාකාරකම් සිදුකිරීමට ගත් උත්සාහය නිසාවෙන් කණ්ඩායම් පුහුණුව සහ තරග ආරම්භ වූ සැනින් ඒවාට හැඩ ගැසීමට ඔවුනට හැකි වූ බවත් එම ක්‍රීඩක ගොන්නෙන් පිටත සිටි ක්‍රීඩකයන්ද ශරීර යෝග්‍යතාවය රඳවා ගැනීමට එකම ආකාරයේ කැපවීමක් පෙන්නුම් කරමින් මෙම පරීක්ෂණයට සහභාගී විය යුතු බවයි. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න

මෙම පන්දුවාර විස්ස තරගාවලිය කොරෝනා වසංගතයෙන් පසු බංග්ලාදේශයේ පැවැත්වෙන දෙවන තරගාවලිය වන අතර මීට ටික දිනකට පෙර කණ්ඩායම් තුනක් පමණක් සහභාගී කරගනිමින් එක්දින ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය කටයුතු කරන ලදි. 

තවද මෙම තරගාවලිය සඳහා කිසිඳු විදේශීය ක්‍රීඩකයෙකු සහභාගී නොවන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති Nazmul Hassan පසුගිය සතියේ දී තහවුරු කළ අතර එය පිළිබඳව අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ මෙම තරගාවලිය සඳහා අවධානයක් යොමුකර සිටියේ එකඳු විදේශ පිතිකරුවෙකු පමණක් බවයි. 

“අපට මෙම තරගාවලිය සඳහා විදේශ ක්‍රීඩකයන් සිටීම අවශ්‍ය නැහැ. අප මෙම තරගාවලිය සඳහා විදේශ ක්‍රීඩකයන් සහභාගී කරගැනීමට අවධානය යොමුකර සිටියත් ඒ සඳහා සහභාගී වීමට කැමැත්ත පළකරේ එක් පිතිකරුවෙකු පමණයි. එක් පිතිකරුවෙකු මෙම තරගාවලිය සඳහා ගෙන්වා ගැනීමට ඇති අවශ්‍යතාවය මොකක්ද?” යැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය. 

තවද මෙම තරගාවලිය සඳහා අනුග්‍රාහයකන්ගෙන් ඉතාමත් හොඳ ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරී Nizamuddin Chowdhury විසින් Cricbuzz වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත. බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ Dhaka Dynamites කණ්ඩායමට අනුග්‍රහය දක්වන Beximco Limited ආයතනය මෙම තරගාවලිය සඳහා ද අනුග්‍රහය දක්වන බව එම වෙබ් අඩවිය වෙත තහවුරු කර තිබුනි. 

තවද මෙම තරගාවලිය සඳහා ආබාධයක් නිසාවෙන් පිටියෙන් ඉවත්ව සිටින බංග්ලාදේශ හිටපු ක්‍රිකට් නායක Mashrafe Mortaza සහ තරග තහනමක් නිසාවෙන් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිට මේ දිනවල ඇමරිකාවේ වාසය කරන තුන් ඉරියව් ක්‍රීඩක Shakib Al Hasan ද එක්වනු ඇතැයි බලාපොරොත්තුවෙන් පසුවේ. 

Cricbuzz වෙබ් අඩවියේ පළවූ ලිපියක් ඇසුරෙනි.  

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<