IPL අවසන් මහා තරගය වාර්තා පොත් අතරට

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

3755

ක්‍රිකට් තරගයකට සහභාගී වූ වැඩිම ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව ඊයේ (29) පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයේ දී වාර්තා වූ බව එහි සංවිධායකයින් ප්‍රකාශ කර තිබෙනවා.

Gujarat Titans සහ Rajasthan Royals කණ්ඩායම් අතර පැවති මෙම තරගය සඳහා ප්‍රේක්ෂකයන් 104,859ක් පැමිණ තිබූ අතර ප්‍රේක්ෂකයන් 132,000කට අසුන් ගැනීමට හැකි Narendra Modi ක්‍රීඩාංගණය එම අවසන් තරගයේ දී ප්‍රේක්ෂකයන්ගෙන් වැසී තිබෙනු දක්නට ලැබුණා.

මීට පෙර කල්කටාවේ පැවති තරගවල නැරඹීමට ප්‍රේක්ෂකයන් 100,000ක් පමණ සහභාගී වී තිබූ බව වාර්තා වී තිබුනත්, නිල වශයෙන් සීමිත පන්දුවාර තරගයකට පැමිණි විශාලතම ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව ලෙස 1992 ලෝක කුසලාන අවසන් මහා තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව (87,812) වාර්තාවක් වී තිබුණා.

Narendra Modi ක්‍රීඩාංගණය විවෘත කිරීමෙන් පසුව කොරෝනා වසංගතය නිසාවෙන් එහි තරග පැවැත්වුණේ ප්‍රේක්ෂකයන් රහිතව හෝ ප්‍රේක්ෂකයන් අඩක් පමණක් සහභාගී කරගෙනයි.

නමුත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් වටයේ තරග සම්පූර්ණ වශයෙන් ප්‍රේක්ෂකයින්ට විවෘත කරමින් පැවැත්වීමට තීරණය කර තිබුණා.

එම අවසර හිමි වීමෙන් පසුව සිය ප්‍රාන්තය නියෝජනය කරන කණ්ඩායම වූ Gujarat Titans වෙනුවෙන් සහය දැක්වීමට විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් පැමිණි අතර එයට සාධාරණයක් ඉටු කරමින් තමන් සහභාගී වූ මංගල තරගාවලියේ දී ම ශූරතාවය දිනා ගැනීමට Gujarat Titans ක්‍රීඩකයින්ට හැකි වුනා.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<