Gujarat Titans මංගල IPL තරගාවලියේ දී ම ශූරතාවයට

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

521

සිය ප්‍රථම IPL තරගාවලියට සහභාගී වුනු Gujarat Titans කණ්ඩායම Rajasthan Royals කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමින් 2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට අද (29) සමත් වුනා.

Royal Challengers Bangalore පරාජය කරමින් Rajasthan කණ්ඩායම Ahmedabad හිදී පැවති වුනු මේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා විට, Gujarat කණ්ඩායම Rajasthan පරාජය කරමින් අවසන් මහා තරගයට පැමිණියා.

2008 වසරේ ශූරතාවය දිනා ගැනීමෙන් අනතුරුව IPL තරගාවලි ඉතිහාසය තුල Rajasthan අවසන් මහා තරගයක් සඳහා පැමිණි පළමු අවස්ථාව මෙයයි.

කාසියේ වාසිය දිනූ Rajasthan කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. Qualifier 2 තරගයට ක්‍රීඩා කළ Rajasthan කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදු නොකරමින් අවසන් මහා තරගයට පැමිණි අතර Gujarat කණ්ඩායම Qualifier 1 තරගයට ක්‍රීඩා කළ  Alzarri Joseph වෙනුවට Lockie Ferguson මේ තරගයට කැඳවා තිබුණා.

අවසන් මහා තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්

  • Gujarat Titans: 1 Shubman Gill, 2 Wriddhiman Saha (wk), 3 Matthew Wade, 4 Hardik Pandya (capt), 5 David Miller, 6 Rahul Tewatia, 7 Rashid Khan, 8 R Sai Kishore, 9 Yash Dayal, 10 Lockie Ferguson, 11 Mohammed Shami
  • Rajasthan Royals: 1 Yashasvi Jaiswal, 2 Jos Buttler, 3 Sanju Samson (capt & wk), 4 Devdutt Padikkal, 5 Shimron Hetmyer, 6 Riyan Parag, 7 R Ashwin, 8 Trent Boult, 9 Obed McCoy, 10 Yuzvendra Chahal, 11 Prasidh Krishna

Gujarat නායක Pandya ඇතුළු ඔවුන්ගේ පන්දු යවන්නන් ඉතාමත් හොඳ සැලසුමක අනුව Rajasthan පිතිකරුවන් පාලනය කළ අතර තරගාවලිය තුල ශතක 4ක් ලබාගෙන වැඩිම ලකුණු ලාභියා වුනු Jos Buttler පන්දු 35ක් තුල  ලකුණු 39කට දවා ගැනීමට Pandya සමත් වුනා.

Buttler සහ Jaiswal පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 24ක් තුල ගොඩනැංවූ ලකුණු 31 සබඳතාවය හැරෙන්නට වෙනත් එකඳු හෝ සාර්ථක සබඳතාවයක් ගොඩනැංවීමට Gujarat පන්දු යවන්නන් අවස්ථාවක් ලබාදුන්නේ නැහැ.

ඉනිමේ මැද පන්දුවාර කිහිපය තුල වැඩි නිලකුණු පන්දු ප්‍රමාණයක් වැය කිරීමට Rajasthan ක්‍රීඩකයින්ට සිදුවුණු අතර ඒත් සමඟම ගොඩනැංවුණු පීඩනය නිසාවෙන් Rajasthan මැදපෙළ කඩුලු 5ක් ලකුණු 38ක් තුල දවා ගැනීමට Gujarat පන්දු යවන්නන් සමත් වුනා.

අවසානයේ දී Parag සහ Boult ඔවුන්ගේ පසුපෙළ සවිමත් කරමින් පිළිවෙළින් ලකුණු 15ක් සහ ලකුණු 11ක් ලබාගෙන යම් ලකුණු ප්‍රමාණයක් Rajasthan ලකුණු සටහනට එකතු කළා. අවසානයේ දී Rajasthan කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 130ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී සහ නායකත්වයේ කැපී පෙනෙන දස්කම් දැක්වූ නායක Pandya නියමිත පන්දුවාර 4ම ක්‍රියාත්මක කරමින්  ලකුණු 17කට කඩුලු 3ක් දවා ගත් අතර Buttler, Samson සහ Hetmyer යන ප්‍රබල කඩුලු 3 Pandyaගේ ගොදුරු බවට පත්වුනා. දඟපන්දු යවන Sai Kishore කඩුලු 2ක් දවා ගත්තා.

ලකුණු 131ක ඉලක්කයක් හඹා යාමේ අරමුණ අතැතිව පිටියට පැමිණි Gill සහ Sahaගේ සබඳතාවය ලකුණු 9කට සීමා කිරීමට වේගපන්දු යවන Krishna සමත් වුනා.  ලකුණු 23කට කඩුලු 2ක් දැවී ගොස් තිබුණු Gujarat ලකුණු සටහන පීඩනයෙන් මුදවා ගත් Pandya සහ Gill තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 53ක් තුල ලකුණු 63ක සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය මූලික අඩිතාලම සකස් කළා.

පන්දු 30ක් තුල 4 පහර 3ක් සහ 6 පහරක් එල්ල කරමින් ලකුණු 34ක් ලබාගෙන ඔවුන්ගේ මැදපෙළ සවිමත් කළ Pandyaගේ කඩුල්ල දවා ගත් Chahal වනිඳු හසරංග අභිබවා යමින් මෙවර IPL තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වුනා.

Rajasthan කණ්ඩායමේ දුර්වල පන්දු රැකීමෙන් අවස්ථා කිහිපයක දී ම ජීවය ලබා ගත් Gill සමඟින් එක්වුණු Miller සිව්වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුණු ලකුණු 47*ක සබඳතාවයක් ගොඩනංවමින් මංගල IPL තරගාවලියේ දී ම ශූරතාවය දිනා ගැනීමට ඔවුන් සතුව තිබූ සිහිනය සැබෑවක් කරගත්තා.

Gill 4 පහර 3ක් සහ 6 පහරක් එල්ල කරමින් නොදැවී ලකුණු 45*ක් ලබාගෙන Gujarat ඉනිමේ දීම ලකුණු ලාභියා වුනා.

Gujarat නායක Pandya දිනාගත් 5 වැනි IPL කුසලානය මෙය වන අතර පන්දු යැවීමෙන් කඩුලු 3ක් සහ පිතිකරණයෙන් ලකුණු 34ක් ලබා ගත් ඔහු මේ තීරණාත්මක අවසන් මහා තරගයේ වීරයා වුනා.

අවසන් මහා තරගයේ වීරයා – Hardik Pandya

තරගාවලියේ වීරයා – Jos Buttler – ලකුණු 863

  • Rajasthan Royals – 130/9 (20): Jos Buttler 39, Yashasvi Jaiswal 22, Riyan Parag 15, Hardik Pandya 3/17, Ravisrinivasan Sai Kishore 2/20.
  • Gujarat Titans – 133/3 (18.1): Shubman Gill 45*, Hardik Pandya 34, David Miller 32.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<