වසරකට පසුව විස්සයි විස්ස තරග ජයක් සොයා ශ්‍රී ලංකාව පල්ලෙකැලේට

136

පසුගිය දා කොළඹ දී නිමාව දුටු ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට නවසීලන්තය සමත් විය

කෙසේ නමුත් එම තරගාවලිය ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකාවට නොහැකි වූවත් හෙටින් (01) ආරම්භ වන විස්සයි විස්ස තරගාවලිය සාර්ථකව අවසන් කිරීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි බොහෝ දෙනා අනුමාන කරයි.

දෝනි යළිත් එළියට; පාන්ඩ්‍යාට වරමක්

දකුණු අප්‍රිකාවට එරෙහිව ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලියට ඉන්දීය…

මුහුණට මුහුණ

2006 වසරේ සිට පැවත එන ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි විස්ස ක්‍රිකට් තරග ඉතිහාසයේ  මේ දක්වා තරග 16ක දී ඔවුනොවුන් එකිනෙකා මුණගැසී ඇති අතර එයින් තරග 8ක ජය නවසීලන්ත කණ්ඩායම සතු වෙද්දී, ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරග 6ක් ජයග්‍රහණය කර ඇත.

තවද එක් විස්සයි විස්ස තරගයක් ලකුණු සමවීමෙන් අවසන් වන විට තවත් තරගයක් ප්‍රතිඵලයක් සහිතව අවසන් වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අවසන් වරට විස්සයි විස්ස තරගයක දී එකිනෙකා මුණගැසුනේ මේ වසර ආරම්භයේ දී ය. නවසීලන්තයේ පැවැත්වුණු එම තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 35කින් පරාජයට පත්විය.

වැදගත් දත්ත

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර වසර 13ක් තිස්සේ පැවති විස්සයි විස්ස තරගවලින් වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා ලෙස තිලකරත්න ඩිල්ශාන් පෙරමුණේ පසුවෙයි. ඔහු නවසීලන්තයට එරෙහිව විස්සයි විස්ස තරග 14කට සහභාගී වී ලකුණු 324ක් ලබාගෙන ඇත්තේ 32.40ක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමිනි.

වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගෙන ඇත්තේ ලසිත් මාලිංග විසිනි. ඔහු නවසීලන්තය සමඟ විස්සයි විස්ස තරග 12කට ක්‍රීඩා කරමින් දවා ගෙන ඇති කඩුලු ගණන 13ක්.

ප්‍රහාරාත්මක පිතිකරුවන්

කුසල් ජනිත් පෙරේරා

ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කිරීමට වැඩි ඉඩකඩක් ඇති වමත් පිතිකරුවෙකු වන කුසල් ජනිත්, ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 36ක් තුළ ලකුණු 1046ක් ලබාගෙන ඇත්තේ 29.05ක් වැනි සාමාන්‍යයක් සමඟිනි. ඒ අතරට අර්ධ ශතක 10ක් ඇතුළත්ය.

නවසීලන්තයට එරෙහිව විස්සයි විස්ස තරග දෙකක් ක්‍රීඩා කර තිබෙන කුසල් ජනිත් එහි දී ලකුණු 96ක් ලබාගෙන ඇත්තේ එක් අර්ධ ශතකයක් සමඟින් 32.00ක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙනයි.

මාර්ටින් ගප්ටිල්

නවසීලන්ත කණ්ඩායම සතුව සිටින තවත් අත්දැකීම් බහුල හා පරිණත ක්‍රීඩකයෙක් මෙන්ම ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවෙකු වන ගප්ටිල්, ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 76ක දී ලකුණු 2272ක් ලබාගෙන ඇත්තේ 33.91ක් වැනි ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමිනි. එම ලකුණු අතරට අර්ධ ශතක 14ක් හා ශතක 2ක් ඇතුළත් අතර ශ්‍රී ලංකාවට එරෙහිව ඔහුගේ දල ලකුණු ලබා ගැනීම සාමාන්‍ය 31කට ආසන්නයි.

නිරෝෂන් දික්වැල්ල

නවසීලන්තයට එරෙහිව එක් විස්සයි විස්ස තරගයක් පමණක් ක්‍රීඩා කර තිබෙන දික්වැල්ල, ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින තවත් දක්ෂ ආරම්භක පිතිකරුවෙකි.

ඔහු මෙවර ශ්‍රී ලංකා සීමිත පන්දුවාර ක්‍රිකට් සංචිතයේ උපනායකත්වයේ වගකීම දරණ අතර සිය විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ තරග 18කට සහභාගී වෙමින් එක් අර්ධ ශතකයක් සමඟින් රැස්කරගෙන තිබෙන සමස්ත ලකුණු සංඛ්‍යාව 328ක් (සාමාන්‍ය 19.29).

Photos : Sri Lanka practice session ahead of 1st T20 against New Zealand

ThePapare.com | Viraj Kothalawala | 31/08/2019 Editing and re-using…

රොස් ටේලර්

පසුගිය දා නිමා වූ ටෙස්ට් තරගාවලියේ නවසීලන්තය වෙනුවෙන් තෙවැනි වැඩිම ලකුණු ලාභියා වූ රොස් ටේලර් නවසීලන්ත කණ්ඩායම සතුව සිටින තවත් අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකි.

ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 88ක දී ලකුණු 1579ක් ඔහු විසින් ලබාගෙන ඇත්තේ 25.88ක් වැනි ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමිනි. එම ලකුණු අතරට අර්ධ ශතක 5ක් ඇතුළත්.

දකුණතින් පිත්ත හසුරුවන ඔහුගෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රවේගකාරී මෙන්ම ආක්‍රමණශීලී පිතිකරණයක් අපේක්ෂා කිරීමට හැකි අතර ශ්‍රී ලංකාවට එරෙහිව 23කට ආසන්න දල ලකුණු සාමාන්‍යයක් රඳවා ගෙන තිබෙන්නේ 109.70කට ආසන්න ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගෙනයි.

තර්ජනාත්මක පන්දු යවන්නන්

ලසිත් මාලිංග

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන මාලිංග ශ්‍රී ලංකා සංචිතයේ සිටින අත්දැකීම් බහුලතම පන්දු යවන්නා ද වේ. දකුණතින් වේගපන්දු යවන මාලිං‍ගගේ ප්‍රබලතම අවිය වන්නේ යෝකර් පන්දුවයි.

මාලිංග ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 73ක දී කඩුලු 97ක් දවා ගැනීමට සමත්ව ඇති අතර එක් පන්දු වාරයකට දල වශයෙන් ලකුණු 7.29ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන්ට ලබා දී ඇත.

වයස අවුරුදු 36ක් වන මාලිංග නවසීලන්තයට එරෙහිව විස්සයි විස්ස තරග 12ක දී කඩුලු 13ක් දවාගෙන තිබෙන්නේ 22.69ක පමණ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.

මිචෙල් සැන්ටනර්

නවසීලන්ත පන්දු බල ඇණිය සවිමත් කරන සැන්ටනර් වයස අවුරුදු 27ක් පමණ වන අත්දැකීම් බහුල දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.

මොහු විස්සයි විස්ස තරග 31ක දී කඩුලු 34ක් දවා ගැනීමට සමත් වී ඇති අතර ඔහුගේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 21.37ක් ලෙස දැක්වේ. සැන්ටනර් එක් පන්දුවාරයකට පිතිකරුවන්ට දල වශයෙන් ලකුණු 7.27ක පමණ ලකුණු ලබා දීමක් සිදු කර ඇත.

වමතින් දඟපන්දු යවන මේ ක්‍රීඩකයාගේ එක් තරගයක හොඳම පන්දු යැවීමේ ලෙස සටහන්ව ඇත්තේ 4/11කි. ශ්‍රී ලංකාවට එරෙහිව මෙතෙක් විස්සයි විස්ස තරග 2ක් ක්‍රීඩා කර තිබෙන සැන්ටනර් විසින් කඩුලු 3ක් දවාගෙන ඇත.

Photos: New Zealand practice session ahead of 1st T20 against Sri Lanka

ඉසුරු උදාන

31 හැවිරිදි වමතින් වේගපන්දු යවන උදාන ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 21ක දී කඩුලු 17ක් දවා ගැනීමට සමත් වී ඇත්තේ 35.52ක් වැනි මට්ටමේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි. යම්හෙයකින් හෙට පැවැත්වෙන විස්සයි විස්ස තරගය උදාන ක්‍රීඩා කළහොත් නවසීලන්තයට එරෙහිව ඔහු ක්‍රීඩා කරන තෙවැනි විස්සයි විස්ස තරගය එය වනු ඇත.

ඉෂ් සෝදී

උස අඩි 6ක් පමණ වන දකුණතින් පා දඟපන්දු යවන්න තරුවක් වන සෝදී, ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 33ක දී කඩුලු 43ක් දවා ගැනීමට සමත් වී ඇත. ලකුණු 18කට කඩුලු 3ක් දවා ගැනීම හොඳම පන්දු යැවීම ලෙස සටහන් කර ඇති සෝදී එක් පන්දුවාරයකට දල වශයෙන්  ලකුණු 7.70ක් පමණ පිතිකරුවන්ට ලබා දී ඇත.

පල්ලෙකැලේ පිටියේ තණතීරුව හා අවට කාලගුණය

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී විස්සයි විස්ස තරග 3ක් පවත්වා තිබෙන අතර එම තරග 3න් එක් තරගයක් ශ්‍රී ලංකාව ජය ගන්නා විට අනෙක් තරග දෙක ලකුණු සමවීමෙන් හා ප්‍රතිඵලයක් රහිතව අවසන් වී ඇත. වේගපන්දු යවන්නන්ට සහ පිතිකරුවන් හට වැඩි වාසියක් ගෙන දෙන ලෙස පළමු විස්සයි – විස්ස තරගය සඳහා පල්ලෙකැලේ තණතීරුව සකස් කර තිබේ.

මේ තණතීරුව මත ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනාගතහොත් පළමුව පන්දු රැකීම වඩා සුදුසු වනු ඇත.

ප්‍රේක්ෂකයින් 35,000කට පමණ අසුන් ගැනීමට හැකි ලෙස ක්‍රීඩාංගණය නිර්මාණය කර ඇත.

තරගාවලියට ඉතාමත් හොඳ කාලගු‍ණ තත්වයක් අපේක්ෂා කිරීමට හැකි අතර එසේම පළමු විස්සයි – විස්ස තරගය පැවැත්වෙන කාලය අතරතුර සෙල්සියස් අංශක 22-25 අතර උෂ්ණත්වයක් අපේක්ෂා කළ හැකිය.

අවසන් විස්සයි විස්ස තරග පහේ ප්‍රතිඵල

ශ්‍රී ලංකාව – L, L, T, L, L

නවසීලන්තය – W, L,W, L, W

(*අවසන් වරට ක්‍රීඩා කර තරගය පළමුව සටහන් කර ඇත. W – ජයග්‍රහණයන් L – පරාජයන්)

විස්සයි විස්ස සංචිතයන්

ශ්‍රී ලංකාව – ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල (උපනායක), අවිශ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා, දනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ශෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිඳු හසරංග, අකිල දනංජය, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, කසුන් රාජිත, ලහිරු කුමාර, ලහිරු මධුසංක.

නවසීලන්තය: ටිම් සවුති (නායක), ටොඩ් ඇස්ටල්, ටොම් බෘස්, කෝලින් ඩි ග්‍රෑන්ඩ්හෝම්, ලුකී ෆර්ගසන්, සෙත් රාන්ස්, මාර්ටින් ගප්ටිල්, රොස් ටේලර්, කොලින් මන්රෝ, ටිම් සයිෆර්ට් (කඩුලු රකින්නා), ඉෂ් සෝදී, මිචෙල් සැන්ට්නර්, ස්කොට් කුගලයින්, ඩාර්ලි මිචෙල්.

පළමු විස්සයි – විස්ස තරගයට අපේක්ෂිත කණ්ඩායම්

ශ්‍රී ලංකාව – ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල (උපනායක), කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ශෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිඳු හසරංග, ඉසුරු උදාන, කසුන් රාජිත, අකිල දනංජය

නවසීලන්තය – ටිම් සවුතී (නායක), මාර්ටින් ගප්ටිල්, කොලින් මන්රෝ, රොස් ටේලර්, ටීම් සෙයිෆර්ට්, කෝලින් ඩි ග්‍රෑන්ඩ්හෝම්, ලුකී ෆර්ගසන්, ඉෂ් සෝදී, මිචෙල් සැන්ට්නර්, ස්කොට් කුගලයින්, ඩාර්ලි මිචෙල්.

අවසන් නිගමනය

ජාත්‍යන්තර විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව නවසීලන්ත කණ්ඩායම හයවැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 4056ක් සමඟින් ප්‍රසාද ලකුණු 154ක් දිනා ගෙනයි. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම එම ලැයිස්තුවේ 9 වැනි ස්ථානය දිනා ගෙන සිටින්නේ ලකුණු 4093ක් සමඟ ප්‍රසාද ලකුණු 227ක් සමඟිනි.

ඒ අනුව බලන කල ශ්‍රේණිගත කිරීම්වලින් ද නවසීලන්තය පෙරමුණේ පසුවෙයි. නමුත් තරගය ජයග්‍රහණය කිරීම සඳහා වැදගත් වන්නේ ශ්‍රේණිගත කිරීම් හෝ ඉතිහාසයේ ලබා ගත් ජයග්‍රහණ නොව උක්ත දිනය තුල හැකි උපරිමයෙන් මෙන්ම හොඳින් ක්‍රීඩා කිරීමයි. එසේ සිදු කළහොත් ශ්‍රී ලංකාවට මේ තරගාවලිය සාර්ථකව අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇත.

ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි විස්ස තරග කාලසටහන

  • අගෝස්තු 29: විස්සයි විස්ස පුහුණු තරගය – කටුනායක මේරියන්ස්.
  • සැප්තැම්බර් 01: පළමු විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ.
  • සැප්තැම්බර් 03: දෙවන විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ.
  • සැප්තැම්බර් 06: තුන්වැනි විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ.

තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ හා තරගාවලියේ සියලුම තරග සජීව ලෙස ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<