කෘනාල්ගේ තුන් ඉරියව් දස්කම් නිසා ලක්නව් අංක 01ට!

174

මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි ජයත් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ඊයේ (07) ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට හැකි වුනා. ඒ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 5කින් පහසුවෙන්ම පරාජය කරමින්.

ලක්නව් කණ්ඩායමේ සත්කාරකත්වය යටතේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ සන්රයිසස් කණ්ඩායමයි. ඒ අනුව මුලින් පිතිකරණයේ යෙදීමට ඔවුන් ගත් තීරණය අවසානයේ ඔවුන්ටම පාරා වළල්ලක් බවට පත්වුනා. ඒ ලකුණු 121කට සන්රයිසස් ඉනිම සීමා වීම නිසයි.

පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 21කට සීමා වෙද්දී, සන්රයිසස් ඉනිම ලකුණු 50 පසු කරන විටම කඩුලු දෙකක් බිඳ දැමීමට Krunal Pandyaට හැකි වුනා. එහි දී ආරම්භක පිතිකරු Anmolpreet Singh ක්‍රීඩා කළ ඉනිම විශේෂ එකක් වූ අතර ඔහු පන්දු 26කින් ලකුණු 31ක් රැස් කළා. ඒ හතරේ පහර 3ක් සහ එක් හයේ පහරක් සමඟයි.

Krunal Pandyaගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් නායක Aiden Markram පළමු පන්දුවෙන්ම දැවී යාම සන්රයිසස් කණ්ඩායමට දැඩි පාඩුවක් වුනා. එංගලන්ත පිතිකරු Harry Brook ලකුණු 3කට දැවී ගියේ තමන් ගැන විශ්වාසය තබා සන්රයිසස් කණ්ඩායම ඔහුව මිල දී ගත් මුදලට සාධාරණයක් ඉටු නොකරමින්. Rahul Tripathi පන්දු 41කින් ලකුණු 35ක් රැස් කළත්, විස්සයි විස්ස තරගයකට උචිත ආකාරයේ වේගවත් ඉනිමක් ක්‍රීඩා කරන්නට කිසිදු පිතිකරුවෙකුට හැකි වුනේ නැහැ.

Abdul Samad ඉනිමේ අවසන් කොටසේ දී පිටියට පිවිස ලබා ගත් ලකුණු 21 නොවන්නට ඔවුන්ගේ මුළු ලකුණු සංඛ්‍යාව මීටත් වඩා දුක්බර වන්නට තිබුණා. කඩුලු 3ක් බිඳ හෙළු Krunal Pandyaට ප්‍රතිවාදී ඉනිම මෙවැනි තත්ත්වයකට ඇද දැමීමේ වැඩි ගෞරවය හිමි වන අතර මේ වන විට 40 හැවිරිදි වියේ පසුවන Amit Mishraත් කඩුලු 2කට වග කිව්වා.

මෙම පහසු ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ කඩුලු 2ක් ලකුණු 45ක් තුල දී බිඳ වැටුණ ද, එතැන් පටන් අර්ධ ශතක සබඳතාවයක් ගොඩ නැගීමට නායක KL Rahul සහ Krunal Pandya සමත් වුනා. පන්දු 31කට මුහුණ දුන් Rahul එහි දී ලකුණු 35ක් ලබා ගත්තේ හතරේ පහර 4ක් සමඟයි.

ඊට වඩා ආක්‍රමණශීලී වූ Krunal Pandya ලකුණු 34ක් ලබා ගැනීමට පන්දු 23ක් පමණක් වැය කළා. ඔහුගේ ඉනිමට හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුනා. 15 වැනි පන්දුවාරයේ මුල්ම පන්දු දෙකට KL Rahul සහ Romario Shepherd දවා ගැනීමට Adil Rashid සමත් වුනත් හයිද්‍රාබාද් ඉරණම වෙනස් කිරීමට එම උත්සාහය ප්‍රමාණවත් වුනේ නැහැ.

අවසානයේ Marcus Stoinis සහ Nicholas Pooran නොදැවී කෙටි ඉනිම දෙකක් ක්‍රීඩා කරමින් අදාළ ඉලක්කය සපුරා ගත්තා. පන්දුවාර 16ක් පමණක් වැයවුනු මෙම සුපිරි හඹා යෑම නිසා ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ දල ලකුණු වේගය +1.358 දක්වා ඉහළ නැග තිබෙනවා. මේ වන විට ඔවුන් තරග 3කට මුහුණ දී ඉන් 2ක් ජයගෙන සිටිනවා.

සන්රයිසස් හයිද්‍රාබාද් – කඩුලු 8ක් දැවී ලකුණු 121 (පන්දුවාර 20): Rahul Tripathi 35, Anmolpreet Singh 31, Abdul Samad 21*, Washington Sundar 16, Krunal Pandya 3/18, Amit Mishra 2/23.

ලක්නව් සුපර් ජයන්ට්ස් – කඩුලු 5ක් දැවී ලකුණු 127 (පන්දුවාර 16): KL Rahul 35, Krunal Pandya 34, Kyle Mayers 13, Nicholas Pooran 11*, Marcus Stoinis 10*, Adil Rashid 2/23,

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර තරගය අද සවස 3.30ටත්, IPL ඉතිහාසයේ වැඩිම කුසලාන ගණනක් ජය ගත් කණ්ඩායම් දෙක වන මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර තරගය අද රාත්‍රී 7.30ටත් ආරම්භ වීමට නියමිතයි. එම තරගවල මිහිර සජීවීව විඳ ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<