සුපිරි ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකුට COVID-19 වැලඳී ඇති බවට සැකයක්

Cricket Australia ඇසුරිනි

138

ඕස්ට්‍රේලියා කණ්ඩායම නවසීලන්ත තරගාවලිය ආරම්භ කිරීම සඳහා ඊයේ (13) සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණි අතර එලෙස පැමිණි සංචිතයට කේන් රිචඩ්සන් ඇතුලත්ව සිටියේ නැත. ඒ ඔහුට උණ රෝග ලක්ෂණ ඇති බව වාර්තා වීමෙන් අනතුරුවයි. 

ඕස්ට්‍රේලියා කණ්ඩායම දකුණු අප්‍රිකානු සංචාරය නිමා කර නැවත තම රට වෙත පැමිණියේ මෙම සතියේ දී ය. ඉන් අනතුරුව කණ්ඩායමේ වෛද්‍යවරුන් හට කේන් රිචඩ්සන් තමන්ට උණ රෝග ලක්ෂණ ඇති බවට දන්වා තිබිණි. ඒ අනුව ඔහුට වෛද්‍ය පරීක්ෂණ කීපයක් සිදු කෙරුණු අතර COVID – 19 ආසාදනය වී ඇති දැයි පරීක්ෂා කිරීමට ද වෛද්‍යවරුන් තීරණය කර ඇත. 

බංග්ලාදේශ ක්‍රිකට් තද තීරණයක; සංගීත ප්‍රසංගයකුත් අවලංගුයි

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ ආසියානු XI කණ්ඩායම හා ලෝක …

29 හැවිරිදි කේන් රිචඩ්සන් හට COVID – 19 වැලඳී නැති බව තහවුරු වුවහොත් ඔහු ඉක්මනින්ම නැවතත් කණ්ඩායම සමඟින් එක්වීමට නියමිතය. 

“අපේ වෛද්‍ය කණ්ඩායම ඔහුව පරීක්ෂා කරමින් ඉන්නවා. අපි මේක සාමාන්‍ය උණක් ලෙස සලකා ඔහුට ප්‍රතිකාර කරනවා. ඒත් අපි ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රතිපත්තිවලට අනුව ඔහුව කණ්ඩායමෙන් ඉවත් කරලා තියෙන්නේ. කේන් දින 14ක් ඇතුළත ජාත්‍යන්තර සංචාරයක් සඳහා සහභාගි වෙලා තියන නිසා ඔහුට අපි අවශ්‍ය පරීක්ෂණ හා ප්‍රතිකාර සිදු කරමින් ඉන්නවා.” ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ නිලධාරීයෙකු පවසා සිටියා. 

“මේ පරීක්ෂණවල ප්‍රතිඵල නිකුත් වූ වහාම කේන්ට අවශ්‍ය ප්‍රතිකාර කරලා ඔහුව ඉක්මනින්ම නැවත කණ්ඩායමට එක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි මේ ගැන නැවත ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ වැදගත් තීරණයක් දැනුම්දීම හැරුණුකොට.” 

කේන් රිචඩ්සන්ගෙන් හිස්වූ ස්ථානය සඳහා නිව් සවුත් වේල්ස් කණ්ඩායමේ වේගපන්දු ‍යවන ක්‍රීඩක ශෝන් ඇබෝට් කැඳවා ඇති අතර ඔහු පසුගිය දා නිමා වූ ඕස්ට්‍රේලියා දකුණු අප්‍රිකා විස්සයි විස්ස තරගාවලියට ද සහභාගි විය. 

කෙසේ වෙතත් මේ වන විට පවතින තත්ත්වය අනුව කේන් රිචඩ්සන් නවසීලන්ත පළමු එක්දින තරගයට ක්‍රීඩා නොකරනු ඇත. එම තරගය සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර එයට ප්‍රේක්ෂකයන්ට සහභාගි වීමට අවසර ලබා දී නැත. ඒ මෙම COVID – 19 වයිරසය වසංගත තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කිරීමෙන් අනතුරුවයි. 

ඒ අනුව ඕස්ට්‍රේලියා ක්‍රිකට් බලධාරීන් පසුගිය දා තීරණය කළේ මෙම එක්දින තරගාවලිය ප්‍රේක්ෂකයන්ගෙන් තොරව ක්‍රීඩා කිරීමටය. එමෙන්ම ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය අවලංගු කර ඇත. 

කොරෝනා බලපෑම නිසා IPL කල්‍ යන ලකුණු

මේ වන විට ලොව පුරා පැතිර යමින් පවතින ….

කෙසේ වෙතත් මාර්ශ් ශෙෆීල්ඩ් පලිහ සඳහා වන තරගාවලිය වෙනසකින් තොරව පැවැත්වීමට තීරණය කර ඇත. එම තරගාවලිය මාර්තු මස 17 වැනිදා පර්ත් හිදීද ඉන් දින දෙකකට පසුව මෙල්බර්න් හිදීද පැවැත්වීමට නියමිතය. 

ඕස්ට්‍රේලියා නවසීලන්ත තරගාවලිය සඳහා මෙතෙක් විකුණා ඇති ටිකට්පත් සඳහා නැවත මුදල් ගෙවීමට ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. මෙම තරගාවලිය Fox Cricket, Kayo Sports හා ABC Grandstand යන නාලිකා ඔස්සේ විකාශනය කිරීමට නියමිතය. 

මෙම තරගාවලියෙන් අනතුරුව ඕස්ට්‍රේලියා කණ්ඩායම විස්සයි විස්ස තරගාවලියක් සඳහා නවසීලන්තයට යාමට නියමිත අතර එය මාර්තු මස 24 වැනිදා ඩනේඩින් හිදී ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් නවසීලන්ත ක්‍රිකට් ආයතනය පවසා සිටියේ මෙම තරගාවලිය සැලසුම් කළ ආකාරයටම ප්‍රේක්ෂකයන් සහිතව පැවැත්වීමට ඔවුන් තීරණය කළ බවයි. 

ඕස්ට්‍රේලියානු සංචිතය: ආරොන් ෆින්ච් (නායක) ඇෂ්ටන් ආගර්, ඇලෙක්ස් කේරි, පැට් කමින්ස්, ජොෂ් හැස්ල්වුඩ්, මාර්නස් ලැබුෂැග්න්, මිච් මාෂ්, කේන් රිචඩ්සන්, ඩීආර්සි ෂෝර්ට්, ස්ටීව් ස්මිත්, මිචෙල් ස්ටාර්ක්, මැතිව් වේඩ්, ඩේවිඩ් වෝනර්, ඇඩම් සැම්පා.

නවසීලන්ත සංචිතය: කේන් විලියම්සන් (නායක), මාටින් ගප්ටිල්, හෙන්රි නිකල්ස්, රොස් ටේලර්, ටොම් ලැතම්, ටොම් බ්ලන්ඩෙල්, ජිමී නීෂම්, කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම්, මිචෙල් සැන්ට්නර්, කයිල් ජේමිසන්, ඉෂ් සෝදි, මැට් හෙන්රි, ටිම් සවුති, ලොකී ෆර්ගියුසන්,  ට්‍රෙන්ට් බෝල්ට්.

  • පළමු එක්දින තරගය – මාර්තු 13 සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී 
  • දෙවන එක්දින තරගය – මාර්තු 15 සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී 
  • තෙවන එක්දින තරගය – මාර්තු 20 බන්ඩ්ල්ස්ටෝන් ක්‍රීඩාංගණයේ දී