මහේලගේ පිතිකරු හමුදාව මට්‌ටු කිරීමට ශ්‍රී ලංකා ‘දඟයන්’ සූදානමින්

244
Rangana Herath

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අනිද්දා (26 දා) පැවැත්වෙන සුපිරි දහ දෙනාගේ වටයේ පළමු කාණ්‌ඩයේ තීරණාත්මක තරගය වෙනුවෙන් ප්‍රබල එංගලන්ත පිතිකරු බලඇණිය මෙල්ල කිරීමේ වගකීම රංගන හේරත් ප්‍රමුඛ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් හමුවේ ඇති ප්‍රධාන අභියෝගය බවට පත්ව තිබේ.

ආසියානු කලාපයේ දඟ පන්දු යවන්නන්ට මුහුණ දීම සහ විස්‌සයි විස්‌ස ලෝක කුසලාන සාර්ථක කර ගැනීම වෙනුවෙන් එංගලන්ත පිලේ පිතිකරණ උපදේශකයා ලෙස පසුගිය දින කිහිපයේදී කටයුතු කරනු ලැබුවේ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට්‌ නායක මහේල ජයවර්ධනය. 

ශ්‍රී ලංකා පන්දු යෑවීම කෙරෙහි නායක ඇන්ජලෝ මැතිව්ස්‌ සතුටින් සිටින බව පැවසුවද පන්දු රැකීම සහ පන්දු යෑවීම එංගලන්ත තරගයට පෙර තවත් දියුණු කර ගත යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය. ශ්‍රී ලංකා පිල දින දෙකක විවේකයකින් පසුව ඊයේ දිල්ලි නුවර පනම් හීදි පෙරවරුවේදී පුහුණු සැසියකට සහභාගි විය.

ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ඊයේ පුහුණු සැසියේදීත් විවේක ගත් අතර ඔවුන් අද සහ හෙට යළිත් ප්‍රධාන පුහුණුවීම්වල නිරත වීමට නියමිතය. නවක දඟ පන්දු යවන්නා වන ජෙෆ්රි වැන්ඩ්‍රසි ශ්‍රී ලංකා පිලට එක්‌වීමෙන් පසුව ඊයේ පළමු වරට පුහුණු සැසියකට සහභාගි වූ අතර ඔහු කොදෙව්වන් සමඟ තරගය ක්‍රීඩා කරනු ලැබුවේ කණ්‌ඩායම සමඟ එක්‌ව පැය කිහිපයකට පසු වීමද විශේෂත්වයකි. කොදෙව් තරගයේදී වැන්ඩ්‍රසි දැක්‌වූ දක්‍ෂතාව ශ්‍රී ලංකා නායකයාට මහත් අස්‌වැසිල්ලක්‌ ගෙන දී තිබේ. වැන්ඩ්‍රසි ඉතාමත් හොඳින් පන්දු යවනවා. ඊළග තරගවලදීත් ඔහුගෙන් කණ්‌ඩායමට විශාල සේවයක්‌ වේවි.යනුවෙන් මැතිව්ස්‌ වැඩිදුරටත් පැවසීය.

අපි කොහොමත් උනන්දුවෙන් වැඩ කරනවා. සමහර කාලවලට මොන දේ කළත් හරි යන්නෙ නැහැ. කොදෙව් තරගය ජය ගන්න තිබුණත් අපිට වාසනාවක්‌ තිබුණෙ නැහැ. නමුත් අපි උනන්දුවෙන් ඉන්නවා ඉදිරි තරග ජයගෙන අවසන් පූර්ව තරගයට එන්න. ඒ සඳහා උපරිමය ලබා දෙන්න කණ්‌ඩායමක්‌ ලෙස සූදානම්යෑයි ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ප්‍රබලම ක්‍රීඩකයකු දිවයිනකළ විමසීමකදී පැවසීය.

එංගලන්ත පිල ඊයේ දිනයේදී ඇෆ්ගනිස්‌ථානය සමඟ තරග වැදුන අතර එම තරගය ඔවුන් ජය ගතහොත් අනිද්දා තරගයේදී ශ්‍රී ලංකාව පරාජය කරමින් සටනකින් තොරවම අවසන් පූර්ව තරග අවස්‌ථාව උදාකර ගැනීමේ අවස්‌ථාව හිමිවේ. එසේ වුවහොත් පළමු කාණ්‌ඩයෙන් අවසන් පූර්ව තරග අවස්‌ථාව හිමිකර ගන්නා දෙවැනි කණ්‌ඩායම බවට පත්වීමට ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සහ කොදෙව්වන් අතර තුන්කොන් සටනක්‌ නිර්මාණය වේ. යම් හෙයකින් එංගලන්ත තරගයේදී ශ්‍රී ලංකාව අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුනහොත් අවසන් පූර්ව අවස්‌ථාව උදාකර ගැනීමට දකුණු අප්‍රිකාව සමඟ තරගය නියත වශයෙන්ම ජය ගනිමින් දළ ලකුණු වේගයද ඉහළ අගයක්‌ද රඳවා ගත යුතුම වේ. එංගලන්තය පරාජය වුවහොත් ඔවුන්ටද අවසන් පූර්ව තරග අවස්‌ථාව වෙනුවෙන් දළ ලකුණු වේගය මත සටන් කිරීමට සිදුව තිබේ. 

දඟ පන්දු යවන්නන් වෙනුවෙන් සහ ආසියාවේදී ක්‍රීඩා කළ යුතු ආකාරය පිළිබඳව එංගලන්ත පිතිකරුවන් මහේල ජයවර්ධනයේ උපදෙස්‌මත සන්නද්ධව සිටියි, ”මහේල පැමිණීමෙන් පසුව අපේ පිතිකරු අංශය ඉතාමත් ශක්‌තිමත් වුණා. ඔහු අපි වෙනුවෙන් විශිෂ්ට සේවයක්‌ කළා.යෑයි එංගලන්ත නායක ඔයින් මෝගන් දකුණු අප්‍රිකාව පරාජය කිරීමෙන් පසුව පැවසීය.

කෙසේ වෙතත් පසුගිය වසර දක්‌වාම මහේල ජයවර්ධනගේ උපදෙස්‌ සහ අනුශාසනා මත ඇන්ජලෝ මැතිව්ස්‌ ප්‍රමුඛ ශ්‍රී ලංකා පිලද පොහොසත්ව සිටින නමුත් ඔවුන්ට දැන් අවශ්‍ය ඇත්තේ ගිලිගී ගොස්‌ ඇති සුපිරි දක්‍ෂතාව නැවත ළඟා කරගනිමින් එංගලන්තය සහ දකුණු අප්‍රිකාව පරාජය කර දමා අවසන් පූර්ව වටයේ ස්‌ථානයක්‌ හිමිකර ගැනීමය. ඒ සඳහා දින තුනක වෙහෙසකර පුහුණුවීම්වලින් අනතුරුව ශ්‍රී ලංකා පිල සටනට පිවිසියද එංගලන්ත පිල හෙට දිනයේදී පමණක්‌ ශ්‍රී ලංකාව සමඟ තරගය ඉලක්‌ක කර ගනිමින් පුහුණු සැසියකට සහභාගි වීමට නියමිතය.