ස්ටෝක්ස්ගේ නායක පදවිය ගැන ජොනීට හිතුණු දේ

1978
Jonny Bairstow speaks about Ben Stokes
Courtsey – Sky Sports

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවෙකු වන ජොනී බෙර්ස්ටෝව් අභිනව එංගලන්ත ක්‍රිකට් නායක බෙන් ස්ටෝක්ස්ගේ නව පදවිය ගැන අදහස් දක්වා තිබෙනවා. ඔහු පවසන්නේ නායකත්වය ස්ටෝක්ස් හට “ඉගෙන ගැනීමට අවස්ථාවක්” වනු ඇති බවයි.

එළඹෙන 02 වැනිදා ලෝඩ්ස් හිදී ඇරඹෙන එංගලන්ත-නවසීලන්ත ටෙස්ට් තරගය එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු බ්‍රෙන්ඩන් මැකලම් සහ නව නායක බෙන් ස්ටෝක්ස් හට නැවුම් අත්දැකීමක් විය හැකියි. දෙදෙනාම නවසීලන්තයෙන් බිහි වූ ක්‍රීඩකයන් වීම දෛවෝපගතයි.

කෙසේ වෙතත් ස්ටෝක්ස් ක්‍රීඩා කරන විලාශයට නායකත්වයෙන් බලපෑමක් නොවනු ඇතැයි බෙර්ස්ටෝව් පවසනවා.

“ඔහු ක්‍රීඩා කරන විදියේ එතරම් වෙනසක් වෙන එකක් නෑ”, බෙර්ස්ටෝව් එසේ පැවසුවේ BBC Test Special නම් වැඩසටහනේ දීයි.

“ඔහු පන්දුවට පහර දෙන විදිය සහ පන්දු යවන විදිය මුළු හදවතින්ම කරන දෙයක්. ඔහුගේ නායකත්වයේත් වෙනසක් වෙන එකක් නෑ”, ඔහු එසේ පැවසුවා.

2020 බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ටෙස්ට් තරගයක දී ස්ටෝක්ස් එංගලන්ත කණ්ඩායම මෙහෙයවූවා. පසුව පාකිස්තානයට එරෙහි එක්දින තරගාවලියක දී නවක කණ්ඩායමක් සමඟ 3-0ක තරගාවලි ජයක් ලැබීමට ද ස්ටෝක්ස්ගේ නායකත්වය එංගලන්තයට උපකාරී වුනා. මේ ඔහු නිල වශයෙන් එංගලන්ත නායකත්වයට පත්ව ගෙවෙන පළමු සති කිහිපයයි.

“ඒක ඔහුට ඉගෙන ගන්න අවස්ථාවකුත් වේවි.” බෙර්ස්ටෝව් පවසන්නේ ප්‍රේක්ෂකයන් යම් ඉවසීමකින් ස්ටෝක්ස්ගේ නායකත්වය දෙස බලා සිටිය යුතු බවයි.

එංගලන්ත කණ්ඩායම මෑත මාස කිහිපයේ දී ඔවුන්ගේ දස්කම් වලින් උපරිම ප්‍රයෝජන ලබන මට්ටමක සිටියේ නැහැ.

“අපි තේරුම් ගන්න සහ හඳුනා ගන්න අවශ්‍යයි ඒක ඉගෙන ගැනීමේ අවස්ථාවක් බව. ඒත් ඔහු වටා තිබෙන අත්දැකීම් සහ ඔහුගේ දර්ශනය උසස් එකක්. අපට හරි පැත්තට ගමන් කරන්න පුළුවන් වුනොත්, ඒක (එංගලන්ත ක්‍රිකට්) උද්‍යෝගිමත් ක්‍රිකට් සන්නාමයක් වේවි”, ඔහු එසේ පැවසුවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<