RCB ජර්සිය උපහාර වැකියකින් වර්ණවත් වෙයි

209

ජයග්‍රාහී සටහනකින් නව IPL තරග වාරය ආරම්භ කළ ඉන්දීය නායක විරාත් කෝලි ප්‍රමුඛ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඊයේ (21) ඩුබායි හී පැවති තරගයෙන් ලකුණු 10ක විශිෂ්ට ජයක් අත්පත් කරගත්තේ ප්‍රබල සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජයට පත්කරමිනි.

ඊයේ (21) දිනයේ ලැබූ ජයග්‍රහණයත් සමඟින් මෙවර තරග වාරයට ජවසම්පන්න අඩිතාලමක් සකසා ගත් බැංගලෝර් ක්‍රීඩකයින් එම තරගය සහ පෙර පැවති පුහුණු සැසිවාරයන් අතරතුර දී පැලඳ සිටි ජර්සියෙහි සුවිශේෂීත්වයක් දුටු බව සමාජ මාධ්‍ය පරිශීලනය කරන ක්‍රීඩාලෝලීන් බොහෝ දෙනෙකු ඉතාමත් කුතුහලයෙන් යුතුව සඳහන්කොට තිබුණි.

COVID-19 වසංගතයෙන් සමස්ත ලෝකවාසී ප්‍රජාවම ආරක්ෂා කරගැනීම උදෙසා මහත් පරිශ්‍රමයක් දරමින් කටයුතු කරන සෞඛ්‍ය සහ ආරක්ෂක අංශයන්ට කෘතගුණ දැක්වීමක් වශයෙන් තම කණ්ඩායමේ ජර්සියෙහි පසුපස ‘My Covid Heroes’ යනුවෙන් වැකියක් සඳහන් කිරීමට පියවර ගත් බව RCB කණ්ඩායම් කළමනාකාරිත්වය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණි. 

මෙම තරග වාරය පුරාවට එම වාක්‍යය මුද්‍රිත ජර්සි පැලඳ ක්‍රීඩා කිරීමට තීරණය කර බවත්, අප වෙනුවෙන් දිවි පරදුවට තබා සේවයෙහි නිරත වන සියලු දෙනා හට මෙය උපහාරයක් වනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔවුහු වැඩිදුරටත් සඳහන්කොට සිටියහ.

තවත් ක්‍රිකට් පුවත් :

සුපිරි දකුණු අප්‍රිකානු පිතිකරු ඒ. බී. ඩිවිලියර්ස් ද තම කණ්ඩායම ගෙන ඇති මෙම තීරණය ඉතාමත් අගයකොට සලකන බව පුහුණු සැසිවාරයක් අතරතුර දී පවසා සිටියේ, COVID-19 වසංගතය පරාජයට පත් කිරීම සඳහා ඉදිරිපත් වී සිටින සියලුම විරුවන් හට අප සියලු දෙනාම ණයගැති බව ද සඳහන් කරමිනි.

මෙවර තරගාවලිය සඳහා සාර්ථකව මුහුණුදීමට කණ්ඩායමක් වශයෙන් ඔවුන් ඉතාමත් හොඳ සූදානමකින් පසුවන බව ඩිවිලියර්ස් ප්‍රකාශ කර සිටියේ මේ අයුරිනි.

“පෙර පුහුණුවීම් කටයුතුවල දී අපි ඉතාමත් උනන්දුවෙන් සහ කැපවීමෙන් යුතුව අපේ උපරිමය ලබා දුන්නා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ තරග වාරයේ දී ලොකු වෙනසක් කරන්න අපිට පුළුවන් වෙයි කියලා. වැදගත් වෙන්නේ අපි කොහොමද මේ ලබා ගත්ත අත්දැකීම් හැමදේම පිටියේ මැද දී ජයග්‍රහණය සඳහා උපයෝගී කරගන්නෙ කියලා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<