ලංකාවට එන බංග්ලාදේශ කණ්ඩායම නිරෝධායනයට

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2020

533

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ ටෙස්ට් තරගාවලියක් සඳහා ක්‍රීඩා කිරීමට අපේක්ෂාවෙන් සිටින බංග්ලාදේශ කණ්ඩායම සිය පුහුණු කඳවුර අවසන් කරමින් දින 7ක නිරෝධායන කාලය ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.

බංග්ලාදේශය තුල තවමත් කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය වී නොමැති නිසාවෙන් මුළු ක්‍රිකට් කණ්ඩායමම එකවර පුහුණු කිරීම සඳහා ඔවුන්ට ඉඩක් නොලැබුණි. කෙසේ නමුත් පසුගිය ජූලි 19 වැනිදා සිට සෙමෙන් සෙමෙන් තනි තනිව සහ කුඩා කුඩා කණ්ඩායම් ලෙස සිය පුහුණුවීම් ආරම්භ කළේ ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ටෙස්ට් තරග තුන ඉලක්ක කරගනිමිනි.

තවත් ක්‍රිකට් පුවත්:

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයින් 27 දෙනෙකුගෙන් සමන්විත මූලික පුහුණු සංචිතයක් නම් කළ අතර එම 27 දෙනා ඊයේ (20) දිනයේ සිට සිය පුහුණු කඳවුර අවසන් කරමින් සිය දින 7ක නිරෝධායන කාලය ආරම්භ කරන ලදි.

බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණු කටයුතු ෂෙර්-ඒ-බංග්ලා ක්‍රීඩාංගණය කේන්ද්‍රකර ගනිමින් ජෛව-ආරක්ෂණ ක්‍රියාපිළිවෙත් යටතේ ක්‍රියාත්මක කෙරුණු නමුත්, ඔවුන්ගේ ආරම්භ පිතිකරු සයිෆ් හසන් හට COVID-19 වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟම, සංචිතයේ සෙසු ක්‍රීඩකයින්ගේ ද සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් මේ වන විට ගැටලුකාරී තත්වයක් පැන නැඟී ඇති බව සඳහන් වේ.

තෝරාපත් කරගෙන ඇති ක්‍රීඩකයින් 27 දෙනා අතරට නවක ක්‍රීඩකයින් 9 දෙනෙකුගේ නම් ඇතුලත්ව තිබීම කැපී පෙනේ. ඔවුන් අතරින් සීමිත පන්දුවාර තරගයන්හී තම හැකියා දක්ෂතා මැනවින් ප්‍රදර්ශනය කළ මොහොමඩ් සයිෆුදීන් හට කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් හිමි වීමේ වැඩි ඉඩකඩක් පවතිනු ඇතැයි ක්‍රිකට් විචාරකයින් මත පළ කර සිටියි.

ඔහුට අමතරව මැදපෙළ පිතිකරණ බලඇණිය සවිබල ගැන්වීම සඳහා මොසදික් හුසේන් ද, ආරම්භක පිතිකරු භූමිකාව රඟ දැක්වීම සඳහා ඉම්රුල් කයිස් සහ ෂද්මාන් ඉස්ලාම් ද කණ්ඩායමේ දොරටු විවෘත කරගෙන තිබේ. කඩුලු රකින ක්‍රීඩක නුරුල් හසන් සමඟින් පන්දු යැවීමේ අංශය ශක්තිමත් කිරීම සඳහා සුන්සමුල් ඉස්ලාම් සහ වේගපන්දු යවන ක්‍රීඩක ෂයිෆූල් ඉස්ලාම් කණ්ඩායමට පැමිණ තිබේ.  

තරගාවලිය සඳහා සහභාගී වන බංග්ලාදේශ කණ්ඩායම මෙම මස 27 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණිය යුතුව ඇත්තේ බංග්ලාදේශයේ දින 7ක් නිරෝධායනය වීමෙන් පසුවයි. අනතුරුව ඔවුන් මෙරටට තුල ද දින 7ක නිරෝධායන කාලයක් අවසන් කර මුළු දින 14ක නිරෝධායන කාලයක් අවසන් කළ යුතුව තිබේ.

පසුව බංග්ලාදේශ කණ්ඩායම ඔක්තෝබර් මස 23 වැනිදා පළමු ටෙස්ට් තරගයට මුහුණ දීම සඳහා සූදානමින් සිටින අතර ඊට පෙර 18 වැනිදා සිට 21 වැනිදා දක්වා ශ්‍රී ලංකා A කණ්ඩායම සමඟ තුන් දින පුහුණු තරගයක් ක්‍රීඩා කිරීමට නියමිතය.

කෙසේ නමුත් රජයේ සහ සෞඛ්‍ය අංශවල රෙගුලාසි සහ ICCය ලබා දී තිබෙන උපදෙස් අනුව කොළඹ සහ පල්ලෙකැලේ ප්‍රදේශ තුළ මෙම තරග පැවැත්වීම සඳහා වැඩි ඉඩක්  ඇත්තේ ඒ සඳහා අවශ්‍ය පහසුකම් එහි තිබෙන නිසාවෙනි. 

කොරෝනා වසංගතය නිසාවෙන් කල් දැමුණු මෙම තරගාවලිය ජූලි සහ අගෝස්තු මාසවල දී පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් කොරෝනා වසංගත තත්වය නිසාවෙන් එය පෙර පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි විය.

මේ තරගාවලියේ තරග කාලසටහන එනම් තරග පැවැත්වෙන දිනයන් සහ තරග පැවැත්වෙන ස්ථානයන් තවමත් නිල වශයෙන් තහවුරු වී නොමැත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<