අර්බුදයකට තුඩු දුන් Kings XI Punjab හට නිකුත් වූ වැරදි short run තීරණය

839

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ පසුගිය දා පැවති තරගයක දී ඇතිවූ මතභේදාත්මක short run සිදුවීමක් පාදක කරගෙන මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාව තුළ තාක්‍ෂණය භාවිතය පිළිබඳව කතිකාවතක් ගොඩනැඟී ඇත.

IPL තරගාවලිය ඉතිහාසයේ 13 වැනි වරටත් මේ වන විට ආරම්භ වී තිබෙන අතර ඉන්දියාව තුළ උත්සන්නව තිබෙන COVID-19 වසංගත තත්වය හේතුවෙන් එය මෙවර පවත්වනු ලබන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී වීම විශේෂත්වයකි.

ඒ අනුව පසුගිය සෙනසුරාදා (19) ආරම්භ වූ තරගාවලියේ දෙවැනි තරගය Delhi Capitals සහ Kings XI Punjab කණ්ඩායම් අතර ඊට පසු දිනයේ දී (20) පවත්වනු ලැබූ අතර එහි දී ඇතිවූ අර්බුදකාරී සිදුවීමක් හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාව තුළ තාක්‍ෂණය යොදාගත යුතු ආකාරය පිළිබඳව ක්‍රිකට් ප්‍රජාව තුළ මේ වන විට විශාල කතිකාවතක් ගොඩනැඟී ඇත. 

එහි දී පළමුව පන්දුවට පහර දුන් Delhi Capitals කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 157ක් වාර්තා කරගැනීමත් සමඟ ප්‍රතිවාදී Kings XI Punjab කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 158කි. එහි දී Mayank Agarwal විසින් හුදකලා ඉනිමක් ක්‍රීඩා කරනු ලැබුවේ ඔවුන්ව ජයග්‍රහණයේ ආසන්නයට රැගෙන යමිනි. 

ප්‍රතිවාදී ක්‍රීඩක Kagiso Rabada යොමු කළ 19 වැනි පන්දුවාරයේ දෙවන පන්දුවට Mayank විසින් දර්ශනීය 4 පහරක් එල්ල කිරීමත් සමඟ Kings XI හට තරගය ජයග්‍රහණය කිරීම සඳහා අවසන් පන්දු 10 දී කඩුලු 4ක් අතැතිව ලකුණු 21ක සංඛ්‍යාවක් අවශ්‍ය වන්නට විය. 

ඒ වන විට Mayank සමඟින් අනෙක් අන්තයේ පන්දුවට පහර දෙමින් සිටියේ Chris Jordan ය. ඒ අනුව අනතුරුව යොමු කළ එම පන්දුවාරයේම තෙවැනි පන්දුවට පන්දු රකින්නන් නොසිටි mid-on කලාපයට උපායශීලීව පහරක් එල්ල කළ Mayank එහි දී Jordan සමඟ ලකුණු දෙකක් කරා දිව යන්නට සමත් විය. කෙසේ නමුත් එහි දී පසුව සිදු වන්නට වූයේ කවුරුන් හෝ අපේක්‍ෂා නොකළ සිදුවීමකි. 

එම ක්‍රීඩකයින් දෙදෙනා ලකුණු දෙක දිව යාමෙන් අනතුරුව ඒ මොහොතේ square-leg විනිසුරුවරයා ලෙස කටයුතු කරනු ලැබූ Nitin Menon සංඥා කර සිටියේ Jordan විසින් දෙවැනි ලකුණ දිවීමට හැරෙන විට පන්දු රකින්නාගේ අන්තයේ දී crease එක පසුකරමින් ඔහු නිසි පරිදි පිත්ත තැබීමට අපොහොසත් වූ බවයි. 

ඒ අනුව එය short run අවස්ථාවක් ලෙස Nitin විසින් නියම කර සිටීමත් සමඟ ඔවුන්ට එහි දී පිරිනැමුණේ එක් ලකුණක් පමණි. කෙසේ නමුත් අනතුරුව ඊට අදාළ දර්ශන සහ වීඩියෝ පට නැරඹීමේ දී Jordan නිසි පරිදි crease එක පසුකරමින් සිය පිත්ත තබා දෙවැනි ලකුණ දිවීමට හැරුණු බව දැකගන්නට ලැබුණත් ඒ වන විට විනිසුරුවරයා විසින් එය short run එකක් ලෙස සංඥා කර අවසන් වී තිබීමත් සමඟ ඉන් එම තීරණයට කිසිදු බලපෑමක් එල්ල වූයේ නැත. 

නමුත් අවාසනාවකට මෙන් අවසානයේ Kings XI Punjab කණ්ඩායමේ පරාජයට Nitinගේ මෙම වැරදි තීරණය ප්‍රබල බලපෑමක් එල්ල කරන්නට විය. Marcus Stoinis යොමු කරනු ලැබූ අවසන් පන්දුවාරයේ තුන්වැනි පන්දුවට Mayank විසින් 4 පහරක් එල්ල කරමින් කණ්ඩායම් දෙක අතර ලකුණු තත්වය සම කරන්නට සමත් වුවත් එහි පස්වැනි පන්දුවේ දී ඔහු දැවී යාමත්, අනතුරුව අවසන් පන්දුවේ දී Jordan දැවී යාමත් සමඟ නියමිත පන්දුවාර 20 අවසානයේ තරගය ජය-පරාජයකින් තොරව නිමා වන්නට විය. ඒ අනුව තරගයේ තීරණය සුපිරි පන්දුවාරයක් කරා යොමු වූ අතර එය පහසුවෙන් ජය ගත් Delhi Capitals ඒත් සමඟ ම තරගයේ ජයග්‍රහණය හිමිකර ගන්නට සමත් විය. 

මේ ආකාරයට පන්දුවාර 20 අවසානයේ තරගය ජය-පැරදුමකින් තොරව අවසන් වීමත් සහ අනතුරුව සුපිරි පන්දුවාරයෙන් Kings XI ක්‍රීඩකයින් තරගය පරාජයට පත්වීමත් සමඟ බොහෝ දෙනා මත පළකරමින් ප්‍රකාශ කර සිටින්නට වූයේ විනිසුරු Nitin විසින් 19 වැනි පන්දුවාරයේ දී ලබා දුන් වැරදි short run තීරණය නොවන්නට මෙම තරගයේ ජයග්‍රහණය පැහැදිලිවම Kings XI හට හිමි වීමට තිබූ බවයි. 

එහි දී ඊට අදාළව මත පලකළ සෑම කෙනෙකුම පාහේ උකහා දැක්වූ කරුණක් වූයේ තාක්‍ෂණය දැඩි දියුණුවක් අත්කරගෙන ඇති යුගයක, එම දියුණු තාක්ෂණයන් විනිසුරු තීරණ review කිරීම්වලට ද ඇතුළුව ක්‍රිකට් ක්‍රීඩාවේ පැතිකඩ රැසකට අතිශය බහුලව යොදාගන්නා පසුබිමක් තුළ මෙවන් වැරදි සිදුවීමට ඉඩහැරීම කෙතරම් ගැටලු සහගත ද යන බවයි. 

ඒ අනුව මෙම සිදුවීම පිළිබඳව සිය පෞද්ගලික Twitter ගිණුම හරහා අදහස් දක්වමින් Kings XI Punjab කණ්ඩායමේ සම හිමිකාරිණියක වන ජනප්‍රිය නිළි Preity Zinta ප්‍රකාශ කර සිටියේ;

“වසංගත තත්වයක් මැද්දේ වුනත් මම ගොඩක් උනන්දුවෙන් මෙහේට ඇවිත්, දවස් 6ක් නිරෝධායනය වෙලා වගේම COVID පරීක්‍ෂණ 5කට මුහුණ දීලා වුනත් මම සිනාමුසු මුහුණකින් තරගය බලන්න ආවේ. ඒත් ඒ short run සිද්ධිය මට ගොඩක් තදින් දැනුණා. ඇත්තටම තාක්‍ෂණයක් තියෙන එකේ තේරුම මොකක්ද ඒක හරියට යොදාගන්න බැරි නම්? ඉතින් මේක තමයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අලුත් නීති රීති හඳුන්වලා දිය යුතු කාලය. නැතුව මේ වගේ දේවල් හැම අවුරුද්දේ ම වෙන්න බැහැනේ.”

එමෙන්ම හිටපු ඉන්දීය මෙන්ම Kings XI Punjab ප්‍රබල පිතිකරු Virender Sehwag ද සිය Twitter ගිණුම ඔස්සේ මෙම සිදුවීම ගැන හාස්‍යයෙන් අදහස් පළකරමින් සටහනක් තබා තිබුණේ;

“ඒ තරගයේ වීරයාට අදාළ තීරණය ගැන මම එකඟ වෙන්නේ නැහැ. ඒ short run එක ලබා දුන්න විනිසුරුවරයා තමයි තරගයේ වීරයා විදිහට නම් කරන්න තිබ්බේ. ඒක short run එකක් නෙමෙයි. ඒ හරහා තමයි තරගයේ තීරණය සම්පූර්ණයෙන් ම වෙනස් වුනේ.”

ක්‍රිකට් ක්‍රීඩාව තුළ විනිසුරුවරුන් ලබා දෙන තීරණවල නිරවද්‍යතාවය තහවුරු කිරීම උදෙසා තාක්ෂණික ක්‍රමෝපායන් වැඩි වශයෙන් යොදාගත යුතු බව නිවැරදි වන නමුත් IPL තරගාවලියේ නීති රීති ලෙස බැලූ කළ පැහැදිලි වන්නේ එම සිදුවීමට අදාළව තාක්‍ෂණය යොදාගැනීමේ ඉඩකඩක් නොතිබූ බවයි. 

ඒ අනුව එම තරගයේ තෙවැනි විනිසුරු ලෙස කටයුතු කරනු ලැබූ Paul Reiffel මෙම short run සිදුවීමට මැදිහත් නොවුනේ ඔහුට ඊට අදාළව කිසිදු බලයක් නොතිබූ බැවිනි. IPL තරගාවලියේ නීති රීති වලට අනුව තෙවැනි විනිසුරුවෙකු හට විනිශ්චය කිරීමට හැකියාව ඇත්තේ නිපන්දු, දුවද්දී දැවීයාම් සහ stump කිරීම් වලට අදාළ අවස්ථා පමණි. 

ඊට අමතරව review අවස්ථාවල දී ක්‍රීඩකයින් විසින් ක්‍රීඩා පිටියේ විනිසුරුවරුන්ගේ තීරණය අභියෝගයට ලක්කිරීමට සංඥා කළහොත් ඊට අදාළව අවසන් තීරණය ලබා දීමේ බලය ද තෙවැනි විනිසුරු සතු වේ. Short run අවස්ථාවන්ට අදාළව තෙවැනි විනිසුරු හට කිසිදු බලයක් හිමි නොවන අතර මේ ගැන තහවුරු කරන IPL නීති පොතේ 2.13 වගන්තියට අනුව short run අවස්ථාවක් එම short run එක සිදු වූ අන්තයේ සිටින විනිසුරුවරයා විසින් සංඥා කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව පන්දු යවන්නාගේ අන්තයේ සිටින විනිසුරුවරයා ඊට අදාළව මෙන්ම එහි දී හිමි විය යුතු ලකුණු සංඛ්‍යාවට ද අදාළව ලබා දෙනු ලබන තීරණය එහි දී අවසාන තීරණය වේ. 

තවත් කියවන්න;

මෙහි දී මීට අදාළව ESPNCricinfo වෙබ් අඩවිය සමඟ අදහස් පළකරමින් හිටපු ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක මෙන්ම Sunrisers Hyderabad හිටපු පුහුණුකරු Tom Moody ප්‍රකාශ කර සිටියේ;

“අවාසනාවකට වගේ ගොඩක් වෙලාවට මේ වගේ සිදුවීම් වෙනකන් ඒවා ගැන අපි හරියට හිතන්නේ, බලන්නේ නැහැ. කිසිම සැකයකින් තොරව තෙවැනි විනිසුරුවරයා ඒ ගැන තීරණයක් ලබා දිය යුතුව තිබුණා. ඒත් පවතින නීති රීති වලට අනුව ඒක එහෙම කරන්න නම් ඒ බව තරගාවලිය ආරම්භ වෙන්න කලින් තරගාවලියට අදාළ නීති රීති අතරට ඇතුළත් කරලා තියෙන්න ඕනේ. 

ඒත් පැහැදිලිවම ඒක මේ වෙන කොට නීති රීති වලට ඇතුළත් වෙලා නැහැ. ඔව්, නිපන්දු, දුවද්දී දැවී යාම් සහ stump කිරීම් තෙවැනි විනිසුරුවරයාට යොමු වෙනවා තමයි. ඒත් ඔවුන් තාම තීරණය කරලා නැහැ ඊට අමතරව මේ වගේ සිදුවීම් වලට අදාළව ක්‍රීඩා පිටියේ විනිසුරුවරුන් ලබා දෙන තීරණ තෙවැනි විනිසුරුවරයාට අවසානයේ වෙනස් කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක එහෙම වෙලා නීති රීති අතරට එක් වෙනකන් අපිට මේ වෙනකොට තියෙන තාක්‍ෂණය සම්පූර්ණයෙන් ම යොදාගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ.”

ඒ අනුව විනිසුරුවරුන් අතින් සිදු වන මෙවැනි අත්වැරදීම් අවම කරගැනීමට තාක්‍ෂණය වැඩි වශයෙන් යොදාගත යුතු බවට කිසිදු සැකයක් නොමැත. කෙසේ නමුත් පවතින නෛතික රාමුව යටතේ එය සිදු කිරීමේ ඉඩකඩක් නොමැති බැවින් පළමුව එම වෙනස්කම් නීති රීති තුළින්ම ආරම්භ කිරීම අත්‍යාවශ්‍ය වේ. 

කෙසේ නමුත් මෙම short run සිදුවීමේ විනිසුරු Nitinගේ තීරණයට අදාළව Kings XI Punjab කණ්ඩායම ද නිල අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර ඊට අමතරව ඉදිරියේ දී මෙවන් අවස්ථාවල දී බහුලව තාක්‍ෂණය යොදාගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසට ද ඔවුන් එහි දී ඉල්ලීමක් සිදු කර ඇත.

  >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<