ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ Red Bull අත්වැල් බැඳ ගනියි

171

ලොව සුපතළ ශක්ති ජනක පාන සමාගමක් වන ‘Red Bull’ ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ශක්ති ජනක පාන සහකරු ලෙසින් අනුග්‍රාහකත්වයකට එළඹ සිටියි. අදාළ අනුග්‍රාහකත්වය පිරිනැමීම වෙනුවෙන් ‘Red Bull’ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ වූ ගිවිසුම අත්සන් තැබීම සහ හුවමාරු කර ගැනීම 2020 අගෝස්තු මස 31 වැනි දින කොළඹ දී සිදු විය.

වසර 3ක කාලයක් බලපැවැත්වෙන පරිදි අත්සන් තැබුණු මෙම අනුග්‍රාහක ගිවිසුම යටතේ මෙරට දී පැවැත්වෙන ද්විපාර්ශ්වික ජාත්‍යන්තර තරගවල දී දෙපිළේම නිල ශක්ති ජනක පාන සපයන්නා ලෙසින් ‘Red Bull’ කටයුතු කරනු ඇති බව 2020 සැප්තැම්බර් මස 30 වැනිදා කොළඹ දී පැවති උත්සවයේ දී ප්‍රසිද්ධියට පත් කරනු ලැබීය. මීට අමතරව අදාළ අනුග්‍රාහකත්වය යටතේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව ඉලක්ක කර ගනිමින් මූල්‍යමය වශයෙන් ද ‘Red Bull’ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දායකත්වය ලබා දෙනු ඇත

තවත් කියවන්න;

“ලොව පුරා ඇති ක්‍රීඩාවන්හි ක්‍රියාකාරකම් සහ කණ්ඩායම් ප්‍රවර්ධනය කිරීම කෙරෙහි නිරන්තරයෙන් අවධානය යොමු කරන ආයතනයක් වන ‘Red Bull’, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ අනුග්‍රාහකත්වයකට පැමිණීම සතුටට කරුණක්” බව මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා සඳහන් කර සිටියේය. 

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ප්‍රධාන විධායක නිලධාරීවරයා, “මෙම හවුල්කාරීත්වය යටතේ හොඳ වටිනාකමක් එකතු කර ගැනීමට ‘Red Bull’ ආයතනයට හැකියාව ලැබේවි. ඒ හරහා ශක්ති ජනක පාන සැපයුම්කරුවන් අතර ‘Red Bull’ ගොඩනංවාගෙන තිබෙන ස්ථාවරත්වය තවදුරටත් ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවට අප විශ්වාස කරනවා” යනුවෙනි.

>>Photos: Announcing of the ”Official Energy Drink Partner of Sri Lanka Cricket<<

මෙම අනුග්‍රාහකත්වය පිරිනැමීම යටතේ මින් ඉදිරියට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ශක්ති ජනක පාන හවුල්කරුවා යන නාමය භාවිතා කිරීමට Red Bullට අවස්ථාව හිමිවන අතරම, තරග නැරඹීම සඳහා පැමිණෙන ක්‍රීඩාලෝලීන් වෙනුවෙන් වන ශක්ති ජනක පාන, අළෙවිය සහ බෙදා හැරීමේ අයිතිය ද ‘Red Bull’ සතු වේ.

අදාළ ගිවිසුම් ගත වීම පිළිබඳව අදහස් දක්වා සිටින හිටපු ටෙස්ට් ක්‍රීඩක බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා, “ගෙවී ගිය වසර කීපයේ දී ශ්‍රී ලංකාව පුරා වූ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වැඩි දියුණු කිරීම වෙනුවෙන් Red Bull දායකත්වය ලබා දී තිබෙනවා” යනුවෙනි. ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයට පත්ව තිබෙන විශ්වවිද්‍යාලාන්තර අතර ක්‍රියාත්මක ක්‍රිකට් තරගාවලියේ ගෝලීය තරගාවලි අධ්‍යක්ෂවරයා ලෙසින් ද කටයුතු කරන කුරුප්පු මහතා, එම තරගාවලියට මෙරටින් ජාත්‍යන්තර වේදිකාවට සාර්ථක ක්‍රීඩකයින් බිහි කිරීම වෙනුවෙන් ‘Red Bull’ කැපී පෙනෙන දායකත්වයක් ලබා දී තිබෙනවා යැයි වැඩිදුරටත් අදහස් දක්වා සිටියේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරි පෙළ පිතිකරුවකු මෙන්ම කඩුලු රකින්නෙකු ලෙස කටයුතු කළ කුරුප්පු මහතා, “Red Bull සහ ශ්‍රී ලංකා ක්‍රිකට් යළිත් වරක් අත්වැල් බැඳ ගැනීම සැබැවින්ම විශිෂ්ට සම්බන්ධතාවයක් වන අතර එය වෙළෙඳ නාමවල ස්ථාවරත්වය ඉහළ යෑමට මෙන්ම ක්‍රීඩාවෙන් ඉදිරියට යෑමට ප්‍රයෝජනවත් වේවි” යනුවෙන් සඳහන් කර සිටියි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<