“ඊළඟ තරගයට මම සූදානම්” – අශ්වින්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2020

119

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ සිටින ප්‍රධානතම දඟපන්දු යවන්නා වන රවිචන්ද්‍රන් අශ්වින් ඊයේ (20) දිනයේ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම සමඟ පැවති තරගයේ දී උරහිස ආශ්‍රිතව ආබාධයකට ලක්විය. කෙසේ නමුත් ඔහු චෙන්නායි කණ්ඩායම සමඟ පැවැත්වෙන මීළඟ තරගය සඳහා සහභාගී වීමට වැඩි ඉඩක් තිබේ. 

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩක රිකී පොන්ටින් පවසන පරිදි අශ්වින් මීළඟ තරගයට ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් ඇත. කෙසේ නමුත් ඔහුගේ ශාරීරික යෝග්‍යතා මට්ටම අනුව ඔහු මීළඟ තරගයට ක්‍රීඩා කරනවා ද නැද්ද යන්න තීරණය කරනු ලබන්නේ ඔවුන්ගේ කණ්ඩායමේ සිටින භෞත චිකිත්සකවරයා විසින්ය. 

අශ්වින් හට මෙවර IPL තරගාවලියේ පළමු තරගයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ එක් පන්දුවාරයක් පමණක් වන අතර එම පන්දුවාරය තුළ කිංග්ස් ඉලෙවන් පංජාබ් කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන් දෙදෙනෙකු වන නිකලස් පූරන් සහ කරුන් නයාර්ව දවා ගනිමින් දිල්ලි කණ්ඩායම තරගයට අවතීර්ණ කළේය. කෙසේ නමුත් එම පන්දුවාරයේ අවසන් පන්දුවේ දී පන්දුවක් රැකගැනීමට යාමේ දී අශ්වින්ගේ වම් අතට යම් ආබාධයක් වූ අතර පසුව අනාවරණය වූයේ ඔහුගේ වම් උරහිසේ අස්ථි දෙකක් අතර යම් වෙනස් වීමක් සිදුව ඇති බවයි. 

තවත් ක්‍රිකට් පුවත්:

ඒ මොහොතේ ඇතිවූ වේදනාව නිසාවෙන් අශ්වින් පිටියෙන් ඉවත් වූ අතර තරගයේ අවසානය දක්වා ඔහුට නැවත පිටියට පැමිණීමට නොහැකි විය. ඒ නිසාවෙන් ඔවුන්ගේ පන්දු යැවීමේ සංකලනය මුළුමනින්ම අවුල් සහගත වූ නමුත් ස්ටොයින්ස් පිතිකරණයෙන් දැක්වූ දස්කම් වලට අමතරව පන්දු යැවීමෙන් ද දැක්වූ දස්කම් නිසාවෙන් සුපිරි පන්දුවාරය දක්වා තරගය රැගෙන යාමට ඔවුන්ට හැකි විය. කගීසෝ රබාඩා සුපිරි පන්දුවාරයේ දී කිංග්ස් ඉල්වෙන් පංජාබ් කණ්ඩායම ලකුණු 2කට සීමා කරමින් දැක්වූ දස්කම් නිසාවෙන් දිල්ලි කණ්ඩායමට පහසුවෙන්ම තරගය ජයගැනීමට අවස්ථාව උදාවුනි. 

සිය ආබාධය පිළිබඳව twitter පණිවුඩයක්  තබමින් අශ්වින් පවසා සිටියේ සිය ස්කෑන් පරීක්ෂණයට අනුව විශාල ආබාධයක් තමන් හට නොමැති බවයි. නමුත් ඒ මොහොතේ දී ඇතිවූ වේදනාව නිසාවෙන් ඔහු පිටියෙන් ඉවත් වූ බවද, මීළඟ තරගයට ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් තිබෙන බවද අශ්වින් එහිදී වැඩිදුරටත් පවසා තිබේ. 

දිල්ලි කණ්ඩායම මුහුණ දුන් පළමු තරගය ඉතාමත් තියුණු තරගයකට පසුව අවසන් වූයේ සුපිරි පන්දුවාරය දක්වා තරගය රැගෙන යමිනි. කෙසේ නමුත් අවසානයේ දී දිල්ලි කණ්ඩායම තරගය ජයග්‍රහණය කරන ලදි. දිල්ලි කණ්ඩායමේ මීළඟ තරගය මෙම මස 25 වැනිදා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමඟ පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<