ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ඉන්දියාවට වඩා පස්සෙන් ඉන්නේ ඇයි?

208

පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන Inzamam-ul-Haq ඉන්දීය කණ්ඩායමට සාපේක්ෂව ශ්‍රී ලංකාව සහ පාකිස්තානය පසුපසින් සිටීමට හේතුව තිබෙන කරුණු කාරනා කිහිපයක් ගැන The Hindu පුවත් පත වෙත පවසා තිබෙනවා.

ඉන්දියාවේ දේශීය පළමු පෙළ ක්‍රිකට් ව්‍යුහය තුල තිබෙන සැලසුම්, තරගකාරීත්වය සහ එහි තිබෙන මනා කළමනාකාරිත්වය ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන සාර්ථකත්වය සඳහා වැඩි ලෙස බලපා තිබෙන බව එහි දී ඔහු පෙන්වා දී තිබෙන ප්‍රධානතම කරුණ වුනා.

“2010 වසර වගේ වෙනකොට ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ පාකිස්තාන මේ කියන රටවල් ඔක්කොම වගේ එකම මට්ටමක තරගකාරීත්වයක් තියාගෙන තමයි සෙල්ලම් කරේ. හැබැයි අවසන් අවුරුදු 12 ගත්තහම ඒක ගොඩක් වෙනස් වෙලා. දැන් වෙනකොට ඉන්දියාව ආසියානු මට්ටමෙන් විතරක් නෙමෙයි ලෝකෙම ක්‍රිකට්වලට ප්‍රබල රටක් වෙලා. 

කොහොමද ඒක වුනේ, ඒක තමයි ඔවුන්ගේ සැලසුම්වල ශක්තිය. ඒ සැලසුම්වල ගොඩක් ලොකු බරක් ඇද්දේ IPL එක, ඒකේ කිසිම සැකයක් නැහැ. ඒ වගේම ඔවුන්ගේ පළමු පෙළ ක්‍රිකට් වෙනුවෙන් ඔවුන් දැක්වූ සැලකිල්ල සහ ඒ කෙරෙහි තැබූ විශ්වාසය සහ ඒ අතුල ඇති කළ දැඩි තරගකාරීත්වය මේ දැන් තියෙන තැනට ඉන්දියාවේ ක්‍රිකට් එක අරගෙන එන්න හේතු වුනා කියලා මම හිතනවා” Inzamam පවසා සිටිනවා.

තවත් ක්‍රිකට් පුවත්:

“ඉන්දියාව ඔවුන්ගේ පළමු පෙළ දේශීය ක්‍රිකට් ව්‍යුහය ඉතාමත් හොඳින් සැලසුම් කරලා, පාලනය කරගෙන යනවා. තරගාවලි පවත්වනවා. ලෝක වෙනස් වෙන විදිහට ඉන්දියාව ක්‍රිකට් එක වෙනස් කරගෙන ඉස්සරහට යනවා. හැබැයි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ඔවුන්ගේ පළමු පෙළ ක්‍රිකට් ව්‍යුහය ගැන තාමත් ලොකු විශ්වාසයක් නැතිව තමයි ක්‍රීඩා කරන්නේ. ඒක හදාගන්න මේ රටවල් දෙකටම තවමත් හැකියාව ලැබිලා නැහැ”, යැයි Inzamam වැඩිදුරටත් කියා සිටියා.

“මීට අවුරුදු කිහිපයකට කලින් ඉන්දියාව ඔවුන්ට ලැබෙන මුදල්වලින් ඔවුන් ක්‍රීඩකයින්ගේ පහසුකම් වර්ධනය සඳහා ලොකු ඉඩක් සලසා දුන්නා. ඔවුන් ඔවුන්ගේ රටේ ක්‍රිකට් වර්ධනය කරන්න අවශ්‍ය දිගු කාලීන සහ කෙටි කාලීන සැලසුම් හදලා නිසි ලෙස ඒ මුදල් මනා පාලනයකින් හරිම තැන්වලට යෙදෙව්වා. එකේ ප්‍රතිඵල ඔවුන් දැන් නොඅඩුව ලබා ගන්නවා.”

“මීට පෙර ඉන්දියාව වගේම අපේ ආසියානු කලාපයේ ඕනෑම කණ්ඩායමක් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ඔවුන්ගේ රටේ දී ක්‍රීඩා කරන්නේ ඉතාමත් අමාරුවෙන්. හැබැයි දැන් ඉන්දියාවට ලෝකේ ඕන තැනක ගහින් ඕනේ රටක් එක්ක සෙල්ලම් කරලා ප්‍රතිවාදීන්ට ලොකු අභියෝගයක් දෙන්න පුළුවන් තැනකට ඔවුන්ගේ ක්‍රිකට් එක අරගෙන ඇවිල්ලා තියෙනවා. 

ඉන්දියානු ක්‍රිකට්වල ඉන්න තරුණ ක්‍රීඩකයින් ඉස්සරහට තව තවත් ලොකු දස්කම් දක්වන ක්‍රිකට් ක්‍රීඩකයින් වෙයි. එකේ කිසිම සැකයක් නැහැ.  අපි ඔවුන්ව පසුපසට තල්ලු කරන්න ඕනේ නැහැ. අපිත් බලන්න ඕනේ ඒ වගේ මට්ටමකට අපේ රටවල් වල ක්‍රිකට් එක අරගෙන එන්නේ කොහොමද කියලා. ඒක බැරි දෙයක් නෙමයි. හොඳ ක්‍රිකට් ව්‍යුහයක්, හොඳ පහසුකම්, හොඳ සැලසුම්, හොඳ කළමනාකාරිත්වයක් තියෙනවා නම් ඒක එච්චර  අමාරු වෙන්නේ නැහැ”, යැයි Inzamam වැඩිදුරටත් පවසා සිටියා.

තවත් දෙස් විදෙස් ක්‍රීඩා ලොව තතු රැගෙන ඒමට ThePapare.com සූදානමින්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<