ලකුණු 220ක් හඹා ගිය කුසල් පෙරේරාගෙන් ගිණිකෙලි සංදර්ශනයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2021

14

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය ආරම්භ වීමට පෙර පැවැති දෙවැනි පුහුණු තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (19) අලුයම අවසන් වුනා. විස්සයි විස්ස පුහුණු තරගයක් ලෙස පැවති එම තරගයෙන් ලකුණු 7ක සුපිරි ජයක් ලබා ගැනීමට කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට හැකි වුනා.

Manchester හි Old Trafford ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ප්‍රවීන් ජයවික්‍රම කණ්ඩායම් දෙක සදහා ම ක්‍රීඩා කළ අතර ආබාධයකට ලක් වූ ධනංජය ලක්ෂාන් මෙම තරගයට ද ක්‍රීඩා කළේ නැහැ.

තරගය සඳහා එකවුන් කණ්ඩායම් දෙක –

Team KJP – Oshada Fernando, Pathum Nissanka, Kusal Perera, Dhananjaya De Silva, Wanindu Hasaranga, Ramesh Mendis, Chamika Karunaratne, Isuru Udana, Dushmantha Chameera, Shiran Fernando, Lakshan Sandakan

Team Mendis – Danushka Gunathilaka, Avishka Fernando, Kusal Mendis, Niroshan Dickwella, Dasun Shanaka, Ishan Jayaratne, Charith Asalanka, Akila Dananjaya, Asitha Fernando, Binura Fernando, Nuwan Pradeep

පළමුව පන්දුවට පහර දුන් කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණි අවිශ්ක ප්‍රනාන්දු සහ දනුෂ්ක ගුණතිලක ලකුණු 62ක සාර්ථක ආරම්භයක් ලබා ගත්තා.

එහි දී ලකුණු 32ක් ලබා ගත් අවිශ්ක ප්‍රනාන්දු පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්ව ගිය පසුව පිටියට පැමිණි නායක කුසල් මෙන්ඩිස් පන්දු 31ක දී වේගවත් ලකුණු 42ක් ලබා ගත්තේ දනුෂ්ක සහ අවිශ්ක ගොඩනැංවූ වේගවත් සබඳතාවය සඳහා තවත් හොඳ සවියක් ලබා දෙමිනි.

එහි දී මෙන්ඩිස් සහ ගුණතිලක දෙවැනි කඩුල්ල සඳහා පන්දු 58ක් තුල ලකුණු 106ක සුපිරි සහ වේගවත් සබඳතාවයක් ගොඩනැංවූවා.

අවසානයේ දී කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු 4ක් දැවී ලකුණු 219ක් ලබා ගත් අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් සුපිරි ඉනිමක් දියත් කළ දනුෂ්ක ගුණතිලක 4 පහර 3ක් සහ 6 පහර 8ක් සමඟින් පන්දු 52ක දී ලකුණු 98ක් ලබාගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස දැවී ගියා.

මෙහි දී කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායමේ ක්‍රීඩකයින් 6 පහර 15ක් සහ 4 පහර 8ක් එල්ල කරමින් මේ ලකුණු ප්‍රමාණය ලබා ගත් අතර සෑම පිතිකරුවෙක්ම වගේ මුහුණ දුන් පන්දු ප්‍රමාණයට සාපේක්ෂව වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට සමත් වීම කැපී පෙනුණා.

පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර පන්දුවාර දෙකක් ක්‍රියාත්මක කරමින් ලකුණු 18කට එක් කඩුල්ලක් දවා ගන්නා විට, පන්දුවාර 4ම ක්‍රියාත්මක කළ චාමික කරුණාරත්න සහ ඉසුරු උදාන පිළිවෙළින් ලකුණු 36ක් සහ ලකුණු 48ක් ලබා දෙමින් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

තවත් ක්‍රිකට් පුවත්:

පිළිතුරු ඉනිම දියත් කළ කුසල් පෙරේරා අංක 3 ස්ථානයේ සිය සුපුරුදු නිදහස් පිති ප්‍රහාරය වෙත අවතීර්ණ වෙමින් නැවතත් සිය සුපුරුදු රිද්මයට පැමිණීමට සමත් වුනේ පන්දු 50ක් තුල අගනා ලකුණු 95ක් ලබාගෙනයි.

ඔහුගේ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලෙස ක්‍රීඩා කළ පැතුම් නිස්සංක සහ ඕෂද ප්‍රනාන්දු අතරින් පැතුම් තමා මුහුණ දුන් පළමු පන්දුවේ දී ම දැවී ගියා. 

ඉන් පසුව ඕෂද/ ධනංජය ද සිල්වා සමඟින් එක්වුණු පෙරේරා දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු පන්දු 95ක් තුල ලකුණු 171ක සුපිරි සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ ඉනිම සවිමත් කළ අතර මෙය පුහුණු තරගයක් වූ නිසාවෙන් ඕෂද ප්‍රනාන්දු සහ ධනංජය ද සිල්වා පිළිවෙළින් ලකුණු 50*ක් සහ ලකුණු 32*ක් ලබා ගත් පසුව පිටියෙන් ඉවත්ව ගියා. වනිඳු හසරංග ලකුණු 25යි.

අවසානයේ දී කුසල් පෙරේරා ලබා ගත් වේගවත් ලකුණු 95 සවියක් කරගනිමින්, පන්දුවාර 19කුත් පන්දු 4ක් අවසානයේ දී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 220 ඉලක්කය සපුරා ගෙන මෙන්ඩිස්ගේ කණ්ඩායම අභිබවා යාමට පෙරේරාගේ කණ්ඩායමට අවස්ථාව හිමි වුනා.

පන්දු යැවීමේ දී වමතින් වේගපන්දු යවන බිනුර ප්‍රනාන්දු කඩුලු 2ක් දවා ගන්නා විට, අකිල දනංජය එක් කඩුල්ලක් දවා ගත්තා. 

තරගයේ ලකුණු සාරාංශය 

කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායම – 219/4 (20): දනුෂ්ක ගුණතිලක 98 (52), කුසල් මෙන්ඩිස් 42 (31), අවිශ්ක ප්‍රනාන්දු 32 (16), දසුන් ශානක 30 (20), දුෂ්මන්ත චමීර 1/18, චාමික කරුණාරත්න 1/36. 

කුසල් පෙරේරාගේ කණ්ඩායම – 220/3 (19.2): කුසල් පෙරේරා 95 (50), ඕෂද ප්‍රනාන්දු 50* (34, retired), ධනංජය ද සිල්වා 32* (22), වනිඳු හසරංග 25 (10), බිනුර ප්‍රනාන්දු  2/34, අකිල දනංජය 1/40. 

තරග කාලසටහන

  • ජුනි 23 – පළමු විස්සයි විස්ස තරගය – Cardiff
  • ජුනි 24 – දෙවැනි විස්සයි විස්ස තරගය – Cardiff
  • ජුනි 26 – තුන්වැනි විස්සයි විස්ස තරගය – Southampton හිදී
  • ජුනි 29 – පළමු එක්දින තරගය – Durham
  • ජූලි 1 – දෙවැනි එක්දින තරගය – London
  • ජූලි 4 – තෙවැනි එක්දින තරගය – Bristol

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<