ක්‍රීඩා පිටියේ ඇගයෙන සක්‍රීය කාන්තාව

ජාත්‍යන්තර කාන්තා දිනය 2022

512
International women's day Feature 2022

මිත්තණියක, මවක, දියණියක, සොයුරියක, බිරිඳක සේ ම, මිතුරියක සේ ද විවිධ භූමිකාවන් නියෝජනය කරන කාන්තාව ඇගයීමට ලක් කෙරෙන ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබෙනවා. මෙරට ක්‍රීඩා පිටියේ විවිධ ඉසව් නියෝජනය කරමින් සාර්ථකත්වයට පත් ක්‍රීඩිකාවන් රැසක් අතරින් කිහිප දෙනෙක් සමඟ ThePapare.com කළ සංවාද සටහනක් මේ.

සමාජය හරි මගට ගැනීමේ නිවැරදි තීරණය, කාන්තාව සතු වගකීමක්” – කුමුදු ප්‍රියංකා

මෙරට ආර්ථිකය සහ සමාජ ක්‍රියාකාරීත්වය බොහෝ විට රැඳී පවතින්නේ කාන්තාව වටා. ගෙදර ආර්ථිකය පාලනය කිරීම, දරුවන් සමාජයට මුදා හැරීම වැනි මේ වැදගත් දේවල් සිදු වෙන්නේ ‘අම්මා’ මූලික කර ගනිමින්. එතැන දී අම්මා නැමති මේ කාන්තාව හරි දේ නොකළොත් සමාජය වල්මත් වෙනවා. ඒ නිසා සමාජය හරි මගට ගැනීමේ නිවැරදි තීරණය, කාන්තාව සතු වගකීමක් බැව් මම පෞද්ගලිකව විශ්වාස කරනවා.”  2020 ටෝකියෝ ගිම්හාන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 100 සහ දුර පැනීමේ ඉසව් නියෝජනය කළ කුමුදු ප්‍රියංකා අප සමඟ මේ කතා බහට එක් වෙමින් පැවසුවා.

අපි ජීවත් වුනේ ම අභියෝග සමඟ. තාත්තා පුංචිම දවස්වල නැති වුනාට පස්සේ අම්මා තමයි අපේ ගෙදර පිරිමියා වුනේ. අම්මට ටිකකට හරි උදව්වට හිටියෙ මම විතරයි. නංගිලත් පොඩියි. ඒත් මට අවුරුදු 16ක් වෙද්දී මගේ අත් දෙක ම නැති වෙලා මමත් ආබාධිත බවට පත් වෙනවා. අම්මට තවත් වැඩි බරක් පැටවෙනවා.”

ආබාධිත බව ගැන හිත හිතා හිටිය නම් මම තවමත් බුත්තල හුදකලා වුන ගෙදරක හූල්ලමින් සිටින කාන්තාවක් වීමට තිබුණා. අත් දෙක නැතිව අහිමි වූ දේවල් ගැන හිත හිතා හිටියොත් තවත් අපි ප්‍රපාතයට ඇද වැටෙනවා. පවුල් පසුබිමත් සමඟ මට ගෙදරට බරක් වෙන්නත් බැහැ. මට අවශ්‍ය වුනේ ගෙදර අයටත් සලකගෙන ඉන්න ක්‍රමයක්. මම කොළඹ එන්න තීරණය කරන්නේ ඒ පසුබිමත් සමඟ.”

ආබාධිතයෙක් ලෙස එළියට එද්දී මගේ ආරක්ෂාව, තනිව වැඩපළ කර ගැනීමේ හැකියාව වගේ දේවල් බාධාවන් වුනා. ඒත් ඒව අභියෝගයන් ලෙස මම බාර ගත්තා. ටික කාලයකට පස්සේ රස්සාව කරන්නේ කොහොමද කියන එක බලපෑවා. අනික් අය සමඟ වැඩ කරන්න පුළුවන් ද කියන හැඟීම ආවා. MAS Holdings වගේ ආයතනයක මට රස්සාව ලැබෙයි කියලා මම හිතුවේ නැහැ. ඒත් මේක හොඳ අවස්ථාවක්. ගෙදර අයටත් සලකගෙන ඉන්න පුළුවන්. මම ඒ අභියෝගයත් බාර ගත්තා. මහන්සි වුනා. මට අද ඒ සියල්ල ජය ගන්න හැකි වුනා. මට ඒ කිසිම තැනක දී මගේ ආබාධිත බව ඉස්මතු වුනේ නැහැ.”

කාන්තාවක් ලෙස ජයග්‍රහණය කරන්න නම් එන අභියෝග බාර ගන්න ඕන. ඒවයින් පලා යන්න ගියොත් ඒ අභියෝග දෙගුණයක් වෙලා ආපිට එන්නේ. මම ආබාධිත ක්‍රීඩිකාවක් ලෙස සිටිමින් මේ තරමින් ජීවිතය ජය ගත්තේ ආ අභියෝගවලට නොබියව මුහුණ දුන් නිසා. සමහර කාන්තාවන් අපි අතර ඉන්නවා බැහැ කියන තැන සිටිමින් ගෙදරට කොටු වෙලා සිටින. එහෙම ඉන්න එපා. එළියට බහින්න. අභියෝග බාර ගන්න. සමාජය නිවැරදිව හැදීමේ වැඩි වගකීමක් රැඳී තිබෙන්නේ කාන්තාවට. ඒ වගකීමෙන් මිදෙන්න එපා කියලා මම මේ ජාත්‍යන්තර කාන්තා දිනේ දී කාන්තාවන්ගෙන ඉල්ලා සිටිනවා.”

සමාජයෙන් කාන්තාවන්ට ලැබෙන සැලකීම ප්‍රශංසනීයයි” – Fathoum Issadeen

මෙරට සමාජය තුළ කාන්තාවන්ට විශාල සැලකීමක් තියෙනවා. ඒක ජාති හෝ ආගම් භේදයක් නැතිව පවතින්නක්. මම ශ්‍රී ලාංකිකයෙක් ලෙසින් ගොඩාක් ආඩම්බර වෙනවා මේ ලැබෙන සැලකීමට. මට ඒක විශේෂයෙන් ම දැනෙන්නේ මම මුස්ලිම් නිසා.” වසර තුනක් ජාතික ස්කොෂ් ශූරිය ලෙසින් සම්මානය පාත්‍ර වූ Fathoum Issadeen අප සමඟ කතා බහට එක් වෙමින් පැවසුවා.

අයියලා පස් දෙනෙක්ට පස්සේ තමයි මම ගෙදරට එකතු වෙන්නේ. මේ නිසා පුංචි දවස්වල ඉඳල ම බොහොම හුරතලේට හැදුණා. ක්‍රීඩාවට පිවිසෙන්නෙත් අයියලා නිසාම තමයි. ඊට ගෙදරින් ලොකු පිටිවහලක් ලැබුණා. තාත්තගෙත් කිසිම අකමැත්තක් තිබුණේ නැහැ, ආශීර්වාද කළා. අම්මට තමයි මගෙන් වදයක් වුනේ. හැමතැනම එක්ක යන්න වුනේ අම්මට. මගේ ජයග්‍රහණ පිටුපස්සේ සෙවණැල්ල වගේ හිටියේ මගෙ අම්මා.”

ක්‍රීඩාවේ දී අධ්‍යාපනයේ දී වගේ මොනදේ වුනත් අපිට වැඩිහිටියන්ගේ ආශීර්වාදය සහ රැකවරණය අවශ්‍යයි. මම ගේ ළඟම තිබුණ මගේ පාසලට ගියේ මගේ අම්මත් සමඟ. නැත්නම් තාත්තා හෝ අයියලත් සමඟ. පාසල් ගමනත් ඊට පස්සේ තිබෙන පුහුණුවීම් නිසාත් මුළු දවසම ගෙදරින් පිට ඉන්න අවස්ථා තිබුණා. ඒ සෑම විටම මමත් සමඟ මගේ වැඩිහිටියෝ හිටියා. සමාජය කොතරම් සුරක්ෂිත වුනත් කාන්තාවකට ඔවුන්ගේ රැකවරණය ගොඩාක් වැදගත්.”

ඒ වගේ ම ඔවුන් හා අපි අතර ඉතා හොඳ සම්බන්ධතාවයක් පැවතිය යුතුයි. නැත්නම් අපේ අපේක්ෂා අතරට යන්න අපහසුයි. ස්කොෂ් කියන්නේ අධික වෙහෙස ගෙන දෙන ක්‍රීඩාවක්. ඒ දේවල් මගේ දෙමාපියන් දැනගෙන හිටියා. ඒ නිසා මට අවශ්‍ය විවේකය පවා ඔවුන්ගේ කැප වීමෙන් මට ලබා දුන්නා. අනවශ්‍යය බලපෑමක් මොනම අවස්ථාවකවත් කළේ නැහැ. මම විශ්වාස කරනවා අනෙකුත් ක්‍රීඩිකාවන්ට ද ඒ සැලකීම ඔවුන්ගේ වැඩිහිටියන්ගෙන් ලැබෙනවා ඇති කියලා.”

මුස්ලිම් සංස්කෘතිය තුළ කාන්තාවකට විශාල රැකවරණයක් ලැබෙනවා. ඒක සිංහල සමාජයෙත් ඒ ආකාරයෙන් ම තිබෙනවා. නමුත් ක්‍රීඩාවට එක් වීමේ දී මුස්ලිම් ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයේ යම් අඩුවක් පේනවා. ඒත් දැන් දැන් ඒ තත්ත්වයේ යම් වෙනසක් සිදු වෙමින් පවතිනවා කියල මට හිතෙනවා. මම ඒකට කැමතියි. අපි ක්‍රීඩිකාවන් ලෙස මේ පිරිස වැඩිකර ගන්න තව තවත් මහන්සි වෙන්න ඕන. මුස්ලිම් රටවල ගෑණු ළමයි ඕන තරම් ක්‍රීඩාවට පිවිසෙනවා. ලෝකය ජය ගත් මුස්ලිම් ක්‍රීඩිකාවන් විශාල පිරිසක් ඒ අතර ඉන්නවා. අපේ රටෙත් ඒ තත්ත්වය ඇති කළ යුතුයි.”

කාන්තාවක ලෙස මම කිසිදු බෙදීමකින් තොරව අද මේ සමාජයේ යම් තැනක සිටිනවා. ඒ ගෞරවය මට ලැබෙන්නේ අපේ හැකියාවන් සහ හැදියාවන් සමඟ. මට සිංහල සහ විවිධ ජාති සහ ආගම්වල යාළුවෝ ගොඩාක් ඉන්නවා. ඔවුන් මාව විවිධ ආකාරයෙන් Motivate කරනවා. අනාගතයේ දී ඔවුන් ද සමඟ විශාල ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා.

මගෙන් මේ රටට වර්තමානයේ මෙන් ම අනාගතයේ දී සිදු විය යුතු දේ කුමක්ද, මම ඒ දේ කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. මම මගේ රටින් ලබා ගත් දේවල්වලට මගේ දැනුමින් මගේ රටට අනාගතයේ දී යමක් කළ යුතුයි කියන බලාපොරොත්තුවෙන් සිටිනවා.

දුප්පත් ගම්මානවල බාල, මහලු, වැඩිහිටියන්ට දැනුම බෙදා දෙමින් ඔවුන් සමඟ ජීවිතය විදින්න කැමතියි. මට මේ දේවල් කරන්න මේ රටේ නිදහස සහ ආරක්ෂාව තියෙනවා කියන විශ්වාසයේ මම සිටිනවා. මේ සමාජයේ කාන්තාවන්ට ලැබෙන ඒ ගෞරවය ගැන කාන්තාවක් ලෙස මම ගොඩාක් සංවේදී වෙනවා.”

සෑම කාන්තාවක් ම සුළුවෙන් හෝ ක්‍රීඩා ප්‍රගුණ කළ යුතුයි” – Vanessa De Silva

ක්‍රීඩාවට පිවිසෙන කාන්තාවක් එතැන කළමනාකරණය කර ගැනීමේ හැකියාවෙන් සන්නද්ධ විය යුතුයි. මුල් අවදියේ දී මේක ටිකක් අපහසු වේවි. ඒත් ඇයට ඒ දේ කර ගන්න බැරි කමක් නෑ. මොකද ඇතැම් තැනක දෙතැනක නැති වුනත්, අද සමාජයේ කාන්තාවන්ට ප්‍රමුඛත්වයෙන් සලකනවා. බොහෝ ගරු කරනවා.” ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩිකාවක්, කළමණාකාරණ නිලධාරීවරියක්, ක්‍රිකට් පරිපාලන නිලධාරිණියක් සහ වර්තමානයේ ක්‍රිකට් තරග තීරකවරියක් ලෙසින් කටයුතු කරන Vanessa De Silva අප සමඟ කතාබහට එක් වෙමින් පැවසුවා.

මම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සෙල්ලම් කරන්නේ 1998 විතර. ඒ දවස්වල අපි ක්‍රිකට් ගැහුවෙ හරි අමාරුවෙන්. ගොඩාක් අඩු පාඩු තිබුණා. ආර්ථික අපහසුතා තිබුණා. ඇත්තට ම අපි ක්‍රිකට් ගැහුවේ අපේ තිබුණ ආසාවට. අපිට උවමනාව, උනන්දුව තිබුණා. ඒකත් එක්ක පවුලේ අයගේ සහයෝගය අපිට ලැබුණා. ඒ සහයෝගය නැත්නම් මේ ගමන මේ විදිහට අපිට එන්න ලැබෙන්නේ නැහැ. අද වුනත් කාන්තාවකට ක්‍රීඩාවේ ඉහළට එන්න නම්, තමන්ගේ දක්ෂතා ලොවට පෙන්වන්න නම් ඇත්තට ම පවුලේ සහයෝගය අනිවාර්යයෙන් ම ලැබෙන්න ඕන.”

මම ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වූ අවුරුද්දේ ම තමයි කසාද බඳින්නේ. මහත්තයගෙ එච්චර කැමැත්තක් තිබුණෙ නැහැ, මම ක්‍රිකට් ගහනවට. ඒත් මගේ ආසාව නිසා එයා මට අවුරුදු තුන හතරක් ක්‍රිකට් ගහන්න අවස්ථාව දුන්නා. ඊට පස්සෙ අපිට බබෙක් හදාගන්න අවශ්‍යතාව තිබුණා. මම ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් වෙන්නෙ ඒ නිසා. විවාහක කාන්තාවක් ලෙස අපිට එවැනි කැප කිරීම් කරන්න වෙනවා.”

කාන්තාවකගේ ඒ කැපවීම සහ වගවීම නිසාවෙනුයි කුටුම්බයක් රක්ෂණය වෙන්නේ. ක්‍රීඩාවේ පරතෙරක් සොයා යෑම වගේ ම පවුල් ජීවිතයේ පැවැත්මත් ඒ කැප කිරීම් මත රැඳී පවතිනවා.” 

කාන්තාවක් ලෙස ගත යුතු තීරණ ගැනීමේ පහසුවක් ක්‍රීඩාවේ යෙදුණ කෙනෙක්ට තිබෙනවා. ඒ නිසා සෑම කාන්තාවක් ම සුළුවෙන් හෝ ක්‍රීඩාවන් ප්‍රගුණ කළ යුතුයි කියන මතයේ මම ඉන්නවා. ඒක පවුලේ දෙමාපියන්ගේ, සහෝදර සහෝදරියන්ගේ, විවාහක නම් ස්වාමියාගේ සහ දරුවන්ගේ ආශීර්වාදය ඇතිව යා යුතු ගමනක්. එවිට සමාජය දන්නවා ඇය හුදකලා නැහැ කියලා. මේ නිසා ඇය වටා කැරකෙන අභියෝගවලට සාර්ථකව මුහුණ දීමේ හැකියාව ඇය සතු වෙනවා. අපි යා යුත්තේ එවැනි ගමනක්.”

ලෝකයේ ඉහළ ම ශක්ති ප්‍රභවය කාන්තාවයි” – නයනි කරවිට

කාන්තාවක් කියන්නේ ශක්ති ප්‍රභවයක්. තමන්ට සමීප මවට, පියාට, සහෝදර සහෝදරියන්ට, ස්වාමියාට, දරුවන්ට ශක්තියක් වෙන්නේ ඇය. දියණියක්, සහෝදරියක්, බිරිඳක් සහ ආදරණීය මවක් ලෙස ඇය ජීවිතයේ බොහෝ හැලහැප්පීම් උසුලාගෙන සිටිනවා. ඒ දේවල් අපූරු ලෙස කළමනාකරණය කරනවා. මේ නිසා මම කාන්තාව දකින්නේ ලෝකයේ ඉහළ ම ශක්ති ප්‍රභවය ලෙසයි.” සුමෝ ක්‍රීඩිකා නයනි කරවිට අප සමඟ මේ කතාබහට එක් වූයේ ඒ ලෙසින්.

අවසන් වරට මෙරට දී පැවති සමස්ත ලංකා සුමෝ තරගාවලියේ අධිබර පංතියේ රන් පදක්කම්ලාභිනිය වන්නේ ඇයයි.

කාන්තාවක් ලෙස මම මගේ බරත් සමඟ බොහොම දුකින් හිටියේ. සමාජයෙන් විශාල පීඩනයක් තිබුණා. අත්‍යවශ්‍ය දේකට හැරෙන්න ගෙදරින් එළියටවත් යන්න මට හිතුණේ නැහැ. ඒ තරමට ම මම සමාජයෙන් කොන් වෙලා හිටියේ. ඒත් මගේ වාසනාවට මගේ සහෝදරයා හරහා මට සුමෝ ක්‍රීඩාවට යොමු වෙන්න අවස්ථාව ලැබුණා.”

කවදාවත් ක්‍රීඩාවක නියැලිලා නොතිබුණ මම, සුමෝ ක්‍රීඩාවේ පුහුණුවීම් පවා කළේ නිවසේ දී. ඒ තරම් පීඩනයකින් මම හිටියේ. නමුත් ටික දවසකින් ම මම මේ ක්‍රීඩාවට ඇබ්බැහි වුනා. සහෝදරයත් සමඟ බොහෝ කැපවීමෙන් පුහුණුවීම්වල නිරත වුනා. සහභාගී වූ පළමු තරගයෙන් ම මට රන් පදක්කමක් දිනා ගන්න ලැබුණා. ඒ ගැන ආඩම්බරයි. ඒ වගේ ම ඒ මගින් මට ලොකු ගෞරවයක්, වටිනාකමක් ලැබුණා.”

ලෝකයේ වගෙම ලංකාවෙත් කාන්තාවක් ලෙසින් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න විශාල ඉඩ කඩක් විවර වෙලා තියෙනවා කියල මම දැන ගත්තේ සුමෝ ක්‍රීඩාවට පිවිසියාට පසුවයි. ගොඩක් දෙනෙක් මේ ක්‍රීඩාව ගැන දැනුවත් නැහැ. විශේෂයෙන් ම කාන්තාවන් මේ ක්‍රීඩාව දිහා බලන්නෙවත් නැති තරම්. ඒත් කාන්තාවක සතු දරා ගැනීමේ ශක්තිය අභියෝගාත්මකව ප්‍රදර්ශනය කරන්න මේ ක්‍රීඩාවෙන් පුළුවන්.”

සුමෝ ක්‍රීඩාව කියන්නේ කාන්තා පිරිමි දෙපිරිසට ම යෙදෙනේන පුළුවන් සුදුසු ක්‍රීඩාවක්. ඊට ශරීරයේ බර වැඩි විය යුතුම කියල නීතියක් නැහැ. තමන්ගෙ බර පංතිය තෝරගෙන ක්‍රීඩා කරන්න පුළුවන්.”

“ජාත්‍යන්තර කාන්තා දිනේ දී මම සෑම කාන්තාවකගෙන් ම ඉල්ලා සිටිනවා තමන් හැකියාවන් හඳුනා ගන්න. ඒ සඳහා යොමු වෙන්න. තම හැකියාවන් නැති වෙලා යන්න දෙන්න එපා. තමන්ගෙ ශක්තිය මොකක්ද කියල අවබෝධ කර ගන්න. ඒක ඔබේ ජීවිතයට විශාල ආලෝකයක් වේවි. කාන්තාවක් ලෙසින් මම සමාජයට මුහුණ නොදුන්න කෙනෙක්. නමුත් මම අද මේ තත්ත්වයට ඇවිත් ඉන්නේ මගේ හැකියාවන් හඳුනා ගත් නිසා. ඒක ඔබටත් පුළුවන්.”

ක්‍රීඩිකාවන් සිටින්නේ ක්‍රීඩා පිටියේ පමණක් නොවේ, ජීවන තරගය දිනන්නට වෙහෙස මහන්සි වී දිරියෙන් තරග කරනා සියලු කාන්තාවන් ධෛර්යවන්ත ක්‍රීඩිකාවන්. එමෙන්ම දක්ෂ ක්‍රීඩකයෙක් බිහි වීම පිටුපස කැප වීමෙන් ඔහුට දිරිය දුන් එක් ක්‍රීඩිකාවක් හෝ සිටිනවා. ඊට හොඳම නිදසුනක් වන්නේ මව්වරුන්.

එවන් ජයග්‍රාහී ක්‍රීඩකයින් බිහිකරමින් පිටුපස සිට ඔවුන්ගේ දක්ෂතා දෙස බලා සතුටු වන දිරිය ක්‍රීඩිකාවන් මෙන්ම, ජීවන ගමන ජයග්‍රහණය කරන්නට දිරියෙන් තරග කරමින් අභීතව පෙරටම යන දිරිය ක්‍රීඩිකාවන් සියලු දෙනාට ThePapare.com අපෙන් ගෞරවාන්විත සුබ පැතුම්!

>>තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න<<