ඔලිම්පික් ගිය පොලිස් බොක්සිං රැජිණ “නෙල්කා”

707

ශ්‍රී ලංකා කාන්තා බොක්සිං ඉතිහාසයේ සුවිශේෂී කඩඉම් කිහිපයක ම හිමිකාරිය වන නෙල්කා ශිරෝමාලා මේ දිනවල සිටින්නේ ජපානයේ – ටෝකියෝ ඔලිම්පික් ගම්මානයේ. ඒ ඔලිම්පික් උළෙලක බොක්සිං තරග තීරකවරියක් සහ විනිසුරුවරියක් ලෙසින් සහභාගී වන පළමු ශ්‍රී ලාංකික කාන්තාව ලෙසයි. 

ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් වන නෙල්කා බොක්සිං ක්‍රීඩිකාවක් ලෙසින් බෞතීස්ම ලබන්නේ පියාගේ උවමනාවෙන්. ඊට බොහෝ විට හේතුවන්නට ඇත්තේ නෙල්කාගේ පියා දක්ෂ බොක්සිං ක්‍රීඩකයෙක් වීම විය හැකියි. රජරට බොක්සිං සූරයා ලෙසින් එකල හැඳින්වූ නෙල්කාගේ පියාගේ නම තම්පු සම්පත්. 

තම්පු ‘සම්පත්’ වීමට පෙර ඔහුගේ නම තම්පු සෙල්වම්. අනුරාධපුර ද්‍රවිඩ පවුලක සාමාජිකයෙක්. වැඩි හරියක් ගැවසුණේ සිංහල සමාජයත් සමඟ. පාසල් කාලයෙන් පසු තරුණ වියත් සමඟින් ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක් වෙනවා. එහි දී ඔහු නාවික හමුදාවට කීර්තිය ගෙනා බොක්සිං ක්‍රීඩකයෙක් බවට පත් වෙනවා. 

නාවික හමුදා රගර් සහ පාපන්දු කණ්ඩායම්වල ද ඔහු සාමාජිකත්වය උසුලනවා. පිට පිට වසර 7ක් බොක්සිං Heavyweight බර පංතියේ ජාතික ශූරයා ද වුනා. ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් පසුව දශක දෙකක පමණ කාලයක් නාවික හමුදා බොක්සිං කණ්ඩායමේ පුහුණුකරු තනතුර ද දැරුවා. 

ඔහු විවාහ වන්නේ දකුණේ කාන්තාවක් වූ කුසුමා පද්මිණී ද සිල්වා සමඟ. වර්තමානය වන විට ඇය දස කඩවත විශාකා සරනි නමින් මෙහෙනින් වහන්සේ නමක්ව සිටිනවා. ඒ මීට දශකයකට පමණ ඉහත දී පවුලේ සියල්ලන්ගෙන් ගත් අවසරය ද ඇතුව ඉටු කර ගත් ඇයගේ ආසාවක්. 

ආදරණීය පියා සහ මව සමඟ නෙල්කා

සිංහල සමාජය සමඟ කොතරම් සමීපව ජීවත් වුනත් සෙල්වම්ට ද්‍රවිඩයෙක් වීම නිසා එකල බොහෝ දේවල් අහිමි වුනා. විවාහයෙන් පසුව තම ලෙයින් බිහිවෙන දරුවන් කිසිවෙක්ට ඒ අමිහිරි සිදුවීම්වලට මුහුණ පෑමට සිදු වෙතැයි අනුමානය සෙල්වම්ට නාතර දැනුණා. ඒ අනුවයි ඔහු උප්පත්තියෙන් ලැබූ සෙල්වම් නමට තිත තබා ‘සම්පත්’ බවට නාමකරණය වෙන්නේ. 

කල් යද්දී මේ කුටුම්භය දියණියන් සිව් දෙනෙක්ගේ කෙළි-සිනා මැදින් පිරි ගියා එහි වැඩිමලා තමයි නෙල්කා. පියා නාවික හමුදාවේ සේවය කළ බැවින් ඔවුන්ගේ නවාතැන් වුණේ ඒ, යන යන තැන නාවික හමුදා කඳවුරු. පාසල් යද්දී නෙල්කා මුලින් ම අකුරු කරන්නේ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ පිහිටි ‘තිස්ස’ ප්‍රාථමික විද්‍යාලයෙන්. ඉන් පසුව තවත් පාසල් කිහිපයකින් පස්සේ අම්මගේ ගම වූ ගාල්ල, රිපන් බාලිකා විද්‍යාලයේ උසස් පෙළ දක්වා නේවාසික සිසුවියක් වෙමින් වැඩි කාලයක් ඉගනුම ලබනවා. 

නෙල්කාගේ ක්‍රීඩා ජීවිතය කළ එළි වෙන්නේ ගාල්ල රිපන් බාලිකාවෙන්. ඇය පාසලේ දැල්පන්දු, පාපන්දු බැඩ්මින්ටන් ක්‍රීඩාවන් කළා. ඒ සෑම කණ්ඩායමක ම නායකත්වයේ ද කටයුතු කළා. එමෙන් ම ඇය තම අධ්‍යාපන කටයුතු ද නිසියාකාරව පවත්වා ගෙන ගියා. මේ නිසා නෙල්කා එකල රිපන් බාලිකාවේ ශිෂ්‍ය නායිකාවක් සහ ක්‍රීඩා නායිකාවක ද ලෙසින් කැපී පෙනෙන චරිතයක් බවට ද පත් වුනා.  

පාසලෙන් ඉවත් වෙනවාත් සමඟ ම නෙල්කා ශ්‍රී ලංකා පොලිස් සේවයට එක් වෙනවා. ඒ කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක් ලෙසින් 1997 වසරේ දී. එතැන් සිට උතුරු සහ නැගෙනහිර පළාත්වල දුෂ්කර කාල පරිච්ඡේදයක් ගත කිරීමට නෙල්කාට සිදු වෙනවා. ක්‍රීඩාවට හුරු වූ නෙල්කාට ඒ සියල්ල අභියෝගයක් වුනේ නැහැ. ඇය පොලිස් සේවයට එක් වූ වසරක පමණ කාලයක ඇවෑමෙන් සියලුම අවිවලින් වෙඩි තැබීමේ දක්ෂතම වෙඩික්කාරිය ලෙසින් ද පත් වෙනවා. ඒ තමයි නෙල්කා පොලිස් ජීවිතයේ දි ලද පළමු ගෞරවාදරය. 

මේ කාලයේ නෙල්කාගේ පියාගේ ආසාව වී තිබුණේ ඇයව බොක්සිං වළල්ල තුළට රැගෙන යෑම. පිරිමි දරුවෙක් නොවූ පවුලේ ඊට එක ම සුදුස්සා ඇය ලෙසින් ඔහු දුටුවා. මේ වෙද්දී ලෝකයේ කාන්තා බොක්සිං ඉසව්වන් ආරම්භ වී තිබීම ද ඊට තවත් හේතුවක් වුනා.   

පාසල් කාලයේ හෝ පොලිස් ජීවිතයේත් එතෙක් කිසිදු දිනක බොක්සිං ක්‍රීඩාව කර නොමැති නෙල්කාට 2001 වසරේ දී බොක්සිං අත් ආවරණ පළඳවනවා. ඒ තම පියා විසින් වැලිසර නාවික හමුදා කඳවුරු ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී. එදා ඔහු නෙල්කාට බොක්සිං අත් ආවරණ පළඳන්නේ ඔලිම්පික් ක්‍රීඩිකාවක වී එම අත් ආවරණ ගලවන ලෙස පවසමින්. 

නමුත් නෙල්කාට තම පියාගේ ඒ ආසාව ඉටු කිරීමට ලැබෙන්නේ නැහැ. එසේ වූවත් අද ඇය බොක්සිං තරග තීරකවරියක් සහ විනිසුරුවරියක් ලෙසින් ඔලිම්පික් උළෙල නියෝජන කරනවා. එහෙත් ඒ අසිරිමත් පණිවුඩය දැන ගැනීමට හෝ දැක ගැනීමට අද ඇයගේ පියා මෙලොව නැහැ. ඔහු මීට මාස දෙකකට පමණ ඉහත දී හෘදයාබාධයක් වැළදීමෙන් මිය යනවා. ඒ කණගාටුදායක පුවත සිදු වෙද්දීත් නෙල්කා සිටින්නේ විනිසුරුවරියක් ලෙසින් බොක්සිං වළල්ලක් මත. 

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ නෙල්කා සුවිශේෂී කඩඉම් කිහිපයක ම හිමිකාරිය ලෙසින් අප මේ ලිපිය ආරම්භයේ දී ම ඇය හැඳින්වූවා. ඒ අනුව ඇය තබන පළමු අඩිය වන්නේ බොක්සිං වළල්ලට රිංගන පළමු පොලිස් බොක්සිං ක්‍රීඩිකාව වෙමින්. 

නාවික හමුදා පුහුණුකරු වූ තම පියාගෙන් ලබා ගත් දැනුම සහ එවකට පොලිස් බොක්සිං සංගමයේ සභාපතිව සිටි ජේ. තංගවේලු මහතාගේ ආශීර්වාදයෙන් යුතුව නෙල්කා, පොලිස් පළමු බොක්සිං ක්‍රීඩිකාව ලෙසින් තරග බිමට පිවිසෙන්නේ ඒ වන විට ද තමන් පුහුණුවීම් ලැබූ වැලිසර නාවික හමුදා බොක්සිං වළල්ලට. ඒ තායිලන්තයේ පැවැත්වෙන ආසියානු බොක්සිං තරගාවලිය නියෝජනය කිරීමේ සුදුසුකම් ලැබීමේ තරගයකටයි. එම තරගයෙන් පරාජය ලැබූ නෙල්කා එම තරගාවලියේ දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව බවට පත් වෙනවා. 

කිසි දිනක තම ඉසව්වේ ජයග්‍රහණයක් නොලැබූ නෙල්කා, ඒ සෑම අවස්ථාවක ම දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව ලෙසින් සම්මාන දිනා ගන්නවා. එහි දිගුව වසර 5ක්. බොක්සිං ක්‍රීඩාවේ නිරත වන අතර වාරයේ නෙල්කලාට පොලිස් සේවයේ ද කටයුතු කරන්න සිදු වෙනවා. ඒ කාර්ය බහුල කාලයේ දී ද නෙල්කා නැවත පොලිස් ඉතිහාස පොතේ තම නම ලියවනවා. 

ඒ බොක්සිං, බැඩ්මින්ටන් සහ නෙට්බෝල් යන ක්‍රීඩා ත්‍රිත්වයෙන් ම පොලිස් වර්ණ දිනා ගනිමින්. ඇයට වර්ණ නොලැබුණත් පොලිසිය නියෝජනය කරමින් පිහිනුම් තරගවලට සහභාගී වූ කාලයක් ද තිබුණා.  

අනතුරුව නෙල්කා 2006 වසරේ දී එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව සමඟ එක් වීමට නැගෙනහිර ටිමෝරයට යනවා. මේ කාලය වසර දෙකක්. 

ඊට පසුව විවාහය. ඔහු චන්දන වික්‍රමනායක. විශේෂ කාර්ය බලකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ලෙසින් මේ දිනවල යාපනය ප්‍රදේශයේ සේවය කරනවා. ඔවුන්ගේ සෙනෙහෙවන්තිය, මනුලි වික්‍රමනායක. අවුරුදු 11ක් වන ඇය කොළඹ විශාඛා විද්‍යාලයේ ඉගනුම ලබනවා. 

නෙල්කා ඇගේ දියණිය සහ ස්වාමියා සමඟ

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව සමඟ එක් වෙමින් මෙරට පැමිණි පසුව වසර දෙකක් තිස්සේ අතැහැරුන බොක්සිං ක්‍රීඩිකාවකගේ චරිතය නැවත අල්ලා ගැනීමට නෙල්කා උත්සාහ කරනවා. ඒත් ඒක ටිකක් අමාරු වෙනවා. නමුත් බොක්සිං අතහරින්න නෙල්කා කැමති වෙන්නේ නැහැ. බොක්සිං ක්‍රීඩාවේ තාක්ෂණික ක්‍රමවේදයන්, ඒවා ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් අනුගත කර ගන්නා ආකාරය සහ බොක්සිං වළල්ලේ සිදු වෙන සිදුවීම් ක්‍රමවත්ව අධ්‍යයනය කරමින් නෙල්කා කාලයක් ගත කරනවා.   

නෙල්කාගේ බොක්සිං ජීවිතයේ ස්වර්ණමය දිග හැරුම උදා වෙන්නේ ඊට පසුවයි. 2009 වසරේ දී ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා බොක්සිං තීරකවරියන් ලෙස සමත් සිව්දෙනා අතරට ඇයගේ නමත් අතුලත් වෙනවා. අනතුරුව 2011 වසරේ පැවති අන්තර් ජාතික බොක්සිං විනිසුරුවන් තෝරා ගැනීමේ තරග විභාගයෙන් ද සමත් වෙන ඔවුන් ශ්‍රී ලංකාවේ පළමු කාන්තා බොක්සිං විනිසුරුවන් සිව්දෙනා බවට ද පත් වෙනවා. 

ඔවුන් අතරින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පළමු වරට ජාත්‍යන්තර බොක්සිං තරගයක් විනිශ්චය කිරීමට සුදුසුකම් ලබන්නේ නෙල්කා. ඒ ඉන්දුනීසියානු සභාපති කුසලාන බොක්සිං තරගාවලිය නියෝජනය කරමින්. 

එම තරගාවලියේ දී නෙල්කා පෑ දක්ෂතා මත දෙවැනි දිනයේ ම ඇය දෙවැනි පෙළ විනිසුරුවරියක් ලෙසින් උසස් වීම් ලබනවා. ඒ සමඟ ම ලන්ඩන් නගරයේ පැවති ඔලිම්පික් පූර්ව තේරීම් තරගාවලියේ ද විනිසුරුවරියක් ලෙසින් පත් කරනවා. 

අනතුරුව 2013 වසරේ දී ඉතාලියේ දී පැවති බොක්සිං තරග තීරක සහ විනිසුරු විභාගයෙන් ද ඉහළින් සමත් වෙන නෙල්කා බොක්සිං විනිසුරු දිවියේ අංක එකේ පත් වීම වන, තෙවැනි පෙළ විනිසුරුවරියක් ලෙසින් අභිශේක ලබනවා. එම පත්වීමත් සමඟ ඇය මෙරට පමණක් නොව, දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ ද එවන් තත්ත්වයක් ලද පළමු බොක්සිං විනිසුරුවරිය ද වෙනවා. 

බොක්සිං විනිසුරුවරියක් වී අඩු ම කාලයක දී ලෝක ශූරතා බොක්සිං තරගාවලියක් විනිශ්චය කිරීමේ භාග්‍ය ලැබීමට ද නෙල්කා සමත් වෙනවා. ඒ 2014 වසරේ දී කොරියාවේ පැවති ලෝක ශූරතා බොක්සිං තරගාවලියේ විනිශ්චයකාරියක වීමෙන්. එතැන් සිට ජාත්‍යන්තර සහ ආසියානු බොක්සිං සංගම් තරග කැලැන්ඩරයේ සෑම තරගාවලියක ම විනිසුරුවරියක් ලෙසින් තම සේවය ලබා දීමට නෙල්කා සමත් වෙනවා. 

ඒ අතරින් 2015 World Series of Boxing තරගාවලියේ අවසන් මහා තරගයේ විනිශ්චය කිරීමේ භාර ධූර වගකීම ද නෙල්කාට පැවරෙනවා. ඇය බොක්සිං විනිසුරු ක්ෂේත්‍රයේ මෙතෙක් ලද ඉහළ ම සම්මානය වන්නේ 2017 වසරේ ලද ආසියාවේ දක්ෂතම විනිසුරු සම්මානයෙන් පුද ලැබීමයි. එය ආසියානු කාන්තාවක බොක්සිං ක්‍රීඩාවෙන් ලද පළමු සම්මානය ද වෙනවා. 

එවන් දක්ෂතා පෑ නෙල්කාට ඔලිම්පික් වරම් ද හිමි වෙනවා. මෙවර පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ බොක්සිං ඉසව් විනිශ්චය කිරීමට ලෝකයේ විනිසුරුවරුන් 36ක් සහභාගී වන අතර ඉන් 6 දෙනෙක් විනිසුරුවරියන්. ඒ අනුව ජර්මනිය, රුමේනියාව, බල්ගේරියාව, දකුණු කොරියාව සහ මොංගෝලියාව යන රටවල් අතරට ශ්‍රී ලංකාව ද එක් කරමින් නෙල්කා මෙරට ට කීර්තියක් අත්කර දෙනවා. බොක්සිං ක්‍රීඩකයන් ඔලිම්පික් උළෙල නියෝජනය නොකරන රටක විනිසුරුවරියක් ලෙසින් සහභාගී වෙන්නේ ද නෙල්කා පමණයි. 

ඒ ගෞරවය, පෙරළා ගෞරවයක් ලෙසින් නෙල්කාට හිමි විය යුතුයි. ඇය මේ දක්වා පැමිණි ගමන මල් ඇතිරූ මාවතක පැමිණි ගමනක් නොවේ. ඒ අතර මග දුක්, කම්කටොළු, සංතාප නැතුවා නොවේ. ඒවා ඇය, ඇයට බොක්සිං ක්‍රීඩාවට ආදරය කරන්නට ඉගැන්වූ පියා වෙනුවෙන් ඉවසන්නට ඇත. නොමැති නම්, ඇගේ ජීවිතය වන් බොක්සිං ක්‍රීඩාව වෙනුවෙන් ඉවසන්නට ඇත. එසේත් නොමැති නම් ඒ දෙක ම වෙනුවෙන් වෙන්නට ඇත. බොක්සිං ක්‍රීඩාවෙන් ඉඳ හිටක ලැබූ සොම්නසක් වේ නම් තමන්ගේ කාර්ය නිවැරදිව කළා යැයි පැවසෙන වදනක් ම විය හැකියි. 

මීට දශකයකට වැඩි කාලයකට ඉහත දී විනිසුරුවරියක් ලෙසින් බොක්සිං වළල්ල තරණය කරද්දී, නෙල්කා මේ තරම් ගමනක් යනු ඇතැයි කවුරුත් සිතන්නට නැත. නමුත් පියාගේ ආශීර්වාදයත්, තමන්ගේ කැපවීමත් මත නෙල්කා අද ලෝකයක් කතා කරන චරිතයක් වී ඇත. 

මේ ජයග්‍රාහී පිම්මත් සමඟින්, එදා තම කුසේ වැඩෙන දියණියගේ කළලය ද දරා ගනිමින් මෙරට ගම් නියම්ගම්වල පැවති බොක්සිං තරග විනිශ්චයේ යෙදුණ කාලය නෙල්කාට සිහිවෙනු නියත ය. හෙට – අනිද්දාට ජපානයේ ටෝකියෝ ඔලිම්පික් බොක්සිං වළල්ල තරණය කරන්නේ ද ඒ නෙල්කා ම ය. ඇය එදා මෙන් ම අද ද තම උකුසු ඇස්වලින් තරග විනිශ්චයේ යෙදෙනු ඇත. 

නෙල්කා වැන්නෝ අපේ රට ට සම්පත් ය. ඔවුන් ආරක්ෂා කර ගත යුතුය. හෙට අනිද්දාට ඔලිම්පික් බොක්සිං වළල්ලට ගොඩ වදින පොලිස් බොක්සිං රැජිණට ThePapare.com අපෙන් උණුසුම් සුබ පැතුම්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<