ඉමේෂා සහ හර්ෂිතා ශ්‍රී ලංකාව දිනවයි

Sri Lanka Women tour of Bangladesh

6
Sri Lanka Women tour of Bangladesh

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් ලකුණු 25ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සංචාරක ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (28) සමත් වුණා.

Sylhet ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංග්ලාදේශ නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සතු කළා.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 4ක් දැවී ලකුණු 161ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 7ක් දැවී ලකුණු 136ක් පමණයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

චමරි අතපත්තු (නායිකාව), හසිනි පෙරේරා, ඉමේෂා දුලානි, හර්ෂිතා සමරවික්‍රම, හංසිමා කරුණාරත්න, කවීෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, කෞශිනී නුත්‍යාංගනා (කඩුලු රකින්නිය), මල්කි මදාරා, සුගන්දිකා කුමාරි සහ මිතාලි අයෝද්‍යා.

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

Nigar Sultana (නායිකාව), Sharmin Akhter, Sobhana Mostary, Dilara Akter(කඩුලු රකින්නිය), Juairiya Ferdous, Shorna Akter, Nahida Akter, Rabeya Khan, Marufa Akter, Sultana Khatun, Fariha Trisna

මෙම තරගයේ ප්‍රතිවාදී නායිකාවගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 25කට සීමා වෙන අතර එහි දී ඉනිම හැර යන්නේ හසිනි පෙරේරා. ඇය පළමු කඩුල්ලට දැවී යන විට පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 7ක් ලබා සිටියා.

ඉන් අනතුරු ව 2 වැනි කඩුල්ලට එක් වූ නායිකා චමරි අතපත්තු සහ ඉමේෂා දුලානි එම කඩුල්ලට පන්දු 32ක දී ලකුණු 42ක් එක් කරනවා. එම සබඳතාව බිඳ වැටෙන්නේ චමරි අතපත්තුගේ දැවී යෑමත් සමඟිනුයි. ඇය දැවී යන විට පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 32ක් ලබා සිටියා.

ඉමේෂා දුලානි ඉනිමේ 3 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 55ක් ලබා සිටියා. එය ඇයගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ 2 වැනි අර්ධ ශතකය වූ අතර ඇය දැවී යන විට හර්ෂිතා සමරවික්‍රම හා එක් වෙමින් 3 වැනි කඩුල්ලට පන්දු 54ක දී ලකුණු 80ක සබඳතාවක් ද ගොඩ නගනවා.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ හර්ෂිතා සමරවික්‍රම. ඇය ඉනිමේ අවසන් පන්දුවේ දී දැවී යන විට පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 61ක් ලබා සිටියා. එය ඇය ගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ 8 වැනි අර්ධ ශතකයයි.

ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට හංසිමා කරුණාරත්න නොදැවී ලකුණු 2ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Sultana Khatun කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව Nahida Akter සහ Marufa Akter කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ ඉනිම ආරම්භ කළ Dilara Akter සහ Juairiya Ferdous එක් ව 1 වැනි කඩුල්ලට ලකුණු 39ක සබඳතාවක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ Juairiya Ferdous පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 16කට දැවී යෑමත් සමඟිනුයි.

ඇය ගේ දැවී යෑමෙන් අනතුරු ව බංග්ලාදේශ ඉනිමට ලකුණු 5ක් පමණක් එක් වෙද්දී තවත් කඩුලු 3ක් දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා. ඒ අතර ඉනිම ආරම්භ කළ Dilara Akter ද සිටියා. ඇය ඉනිමේ 4 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 23ක් ලබා සිටියා.

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ Shorna Akter. ඇය පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 60ක් ලබා ගත්තා. එය ඇය ගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.

කඩුලු දවා ගැනීමේ දී චමරි අතපත්තු, මල්කි මදාරා සහ මිතාලි අයෝද්‍යා කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 4ක් දැවී 161 (20.0)චමරි අතපත්තු 32, ඉමේෂා දුලානි 55, හර්ෂිතා සමරවික්‍රම 61, Sultana Khatun2/29
  • බංග්ලාදේශකාන්තා ක්‍රිකට්කණ්ඩායම – කඩුලු 7ක් දැවී 136 (20.0) Dilara Akter 23, Shorna Akter 60, මල්කි මදාරා 2/31, මිතාලි අයෝද්‍යා 2/34, චමරි අතපත්තු 2/19

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 25ක ජයක්.

තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – හර්ෂිතා සමරවික්‍රම (ශ්‍රී ලංකාව)

දෙරට අතර 2 වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගය මේ මස 30 වැනිදා මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<