2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින එකම ක්‍රීඩිකාව වන්නේ කුමුදු ප්‍රියංකා. ඇය මෙම ක්‍රීඩා උළෙලේ දී මීටර් 100 දිවීම සහ දුර පැනීමේ ඉසව් දෙකට සහභාගී වීමට නියමිතයි. 

මෙවර ක්‍රීඩා උළෙලේ දී මෙරට නියෝජනය කරන්නන් අතර ඉසව් දෙකක් නියෝජනයට සුදුසුකම් ලැබුවේ ද ඇය පමණයි. මේ ඇය ගැන ThePapare.com තබන සටහනක්. 

“අවුරුදු ගාණක් තිස්සේ පැරාලිම්පික් උළෙලට සහභාගි වෙන්න බලාපොරොත්තුව සිටියා. ඒ වෙනුවෙන් උපරිම කැපවීම් කළා, මහන්සි වුනා. ලැබූ මේ අවස්ථාවෙන් මගේ මව්බිමට ගෞරවයක් ලබා දෙන්න හැකි වෙනවා නම් ඒ තරම් සතුටක් තවත් නැහැ. ඒ වෙනුවෙන් උපරිම ලෙස මහන්සි වෙනවා“, කුමුදු ප්‍රියංකා ThePapare.com සමඟ එකතු වෙමින් පැවසුවා. 

කුමුදු, අගනගරය තාවකාලිකව නවාතැනක් කර ගත් බුත්තල, හොරබොක්ක ගම් පියස කරගත්තියක්. ඇය පාසල් යන්නේ මොනරාගල සිද්ධාර්ථ මහා විද්‍යාලයට. ගොවිතැනින් සරි කෙරුණ සිව්දෙනෙක්ගෙන් යුත් පවුලේ වැඩිමල් සහෝදරිය ඇය. ඇයට වැඩිමල් සහෝදරයෙක් සහ බාල සහෝදරියන් දෙදෙනෙක් සිටිනවා. 

නොදන්නා පුංචි ම කාලේ කුමුදුලාට තාත්තාගෙ සෙනෙහස අහිමි වෙනවා. ඊට පස්සේ අම්මා තමයි බර කරට ගන්නේ. පවුලේ ලොක්කි වීම නිසා අම්මගෙ වැඩවලට සහයෝගය දක්වමින් සමීපව වැඩ කරන්න වුනේ කුමුදුට. අම්මා ආර්. එම්. නන්දාවතී. අදටත් එදිනෙදා විය-පැහැදම් එකතු කර ගන්න මහ පොළොවත් සමඟ ඔට්ටු වෙමින් ඉන්න ධෛර්යමත් කාන්තාවක්.

උදේට උදැල්ල අතට ගන්න කුමුදුගේ අම්මා ඒක නැවත බිමින් තියන්නේ හවසට. රාත්‍රියේ වුනත් අම්මා නිකං හිටියේ නැහැ. කුමුදුලාවත් වටේ ට ඉන්ඳ ගෙන වගා කළ බව-බෝග මිටි ගැහුවා වගේ දේවල් කරනවා. ඒ ඊට පහුවෙනිදාට වෙළෙන්දන්ට දෙන්න. ඊට පස්සේ ඔක්කෝම එකතු වෙලා අම්මගෙ දාඩිය සුවඳත් එක්ක එකට ගුලිවෙලා නිදා ගන්නවා.

“අපි ලොකු මහත් කරන්න අම්මා විඳි දුක් මේ ලෝකේ කිසිම අම්මා කෙනෙක් විඳින්න නැතිව ඇති. අම්මගෙ හුස්මවලින් තමයි අපි ජීවත් වුනේ. ඒ තරමට ම අම්මා අපිට සමිපයි”, කුමුදු පවසනවා. 

කුමුදු සහ ඇගේ ආදරණීය මෑණියන්

වත්තේ පිටියේ වැඩවලටත් ගෙදර-දොරෝ වැඩවලටත් හුරු කුමුදු පාසල් කාලයෙන් පසු නිරන්තරයෙන් අම්මාගේ වැඩවලට උදව් කිරීම ඒ දවස්වල ඉඳල ම පුරුද්දක්. එහෙත් එක්තරා දවසක මේ හොඳ පුරුද්ද නරකට පෙරළුණා. කුඩා වන ළැහැබක් උදලු ගාමින් සිටි කුමුදුගේ අම්මා නොදන්නා දෙයක් නෙත ගැටෙනවා. ඒක පරීක්ෂා කරන්න දෙන්නේ ලොක්කී වූ කුමුදුට. 

“අම්මා දුන්නෙ මොකක්ද කියල මමවත් දන්නේ නැහැ. මම ඒක ඒ – මේ අත හරවල බැලුවා. එක පාරට ම ගිනි ජාලාවක් එක්ක මහා ශබ්දයකින් ඒක පිපිරිලා ගියා. මගේ දෑස් නිලංකාර වුනා. මට මතක එච්චරයි. එතකොට මට වයස අවුරුදු 16යි.“

දැන් කුමුදුට වයස අවුරුදු 33ක්. අවුරුදු 17ක අතීතයක්. 2005 අවුරුද්දේ වූ ඒ සිදුවීමෙන් කුමුදුට වැළමිටෙන් පහළ අත් දෙක ම අහිමි වෙනවා. ඒ වගේ ම එක් ඇසක පෙනීමත් සම්පූර්ණයෙන් ම අහිමි වෙනවා. ඒ ආබාධිත තත්ත්වය අනුවයි කුමුදු පැරාලිම්පික් උළෙලේ T45/46 කාණ්ඩයෙන් තරග කිරීමට නිර්දේශ වෙන්නේ.

ලොක්කීට වූ මේ විපැත්තිය නිවැසියන්ට පමණක් නොවේ, ගමේ බොහෝ දෙනෙක් කම්පා කරන සිදුවීමක් වුනා. හැම කෙනෙක්ගේ ම මුවින් කියැවුණේ අනේ අපොයි කියලා. ඒත් කුමුදුලාට එහෙම ඉන්න බැහැ. යම්තන් සනීප වූ කුමුදු නිවසට පැමිණි පසු හැකි විදිහට අම්මට උදව් කරන්න ගත්තා. 

“පාසල් ගමන ඒ සිදුවීමත් සමග නතර වුනා. එතකොට මම සාමාන්‍ය පෙළ කරලා හිටියේ. මුල් දවස්වල ගෙදර වැඩ කරගන්න අමාරු වුනා. මෙහෙම ජීවත් වෙලා මොකටද කියල හිතෙන තරමට ඒ සිදුවීම් හිතට වද දුන්නා. අම්මා නම් මම කොස්සක් අල්ලනවටවත් කැමති වුනේ නැහැ. ඒත් මම මට පුළුවන් විදිහට ගෙදර වැඩවලට මම උදව් කරමින් හිටියා.“

ඔය අතර ආබාධිතයන් පුනරුත්ථාපනය කිරීම සඳහා වූ ශ්‍රී ලංකා පදනම හෙවත් Sri Lanka Foundation for the Rehabilitation of the Disabled (SLFRD – Rehab Lanka) හි ප්‍රේමදාස දිසානායක මහතා කුමුදු හමුවෙන්න නිවසට එනවා. ඒ හමුව කුමුදුගේ ඉරණම් ගමන තීරණය කරනවා. 

“සර් අපේ ගෙදර එන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ලැබුණු තොරතුරුත් එක්ක. අම්මත් මාත් හමුවෙලා ගොඩක් දේවල් කතා කළා. පුංචි කාලෙ නැති වුන තාත්තාගේ සෙනෙහස ලැබුණ නම් මේ විදිහ ම වෙන්න ඇති කියෙන තරමට සර් මගේ හිත දිනා ගත්තා. සර් මට කොළඹ යන්න කතා කළා. ඒත් අම්මා ඒකට එක පාරට ම කැමති වුනේ නැහැ. අම්මා ඒ ගැන පහුකාලෙක කිව්වේ අත් දෙකත් නැති මම, නොදන්නා පළාතකට ගිහිල්ලා කොහොම තමන්ගේ වැඩ කර ගන්න ද කියලා හිතුණා කියලයි. නමුත් මගේ කැමැත්තත් සමඟ එදා මම කොළඹ එනවාට අම්මා කැමැත්ත දුන්නා.“

බුත්තලින් කොළඹ එන කුමුදුට නවාතැන වුනේ ආබාධිතයන් පුනරුත්ථාපනය කිරීම සඳහා වූ ශ්‍රී ලංකා පදනම ම තමයි. කුමුදු වැනි ම වූ තවත් බොහෝ දෙනෙක් එහි තමන්ගේ ජීවිතය ගෙත්තම් කරමින් සිටියා. එහි විවිධ වෘත්තීන් මෙන් ම විවිධ ක්‍රියාකාරකම් සඳහා ඔවුන් පුරුදු පුහුණු කළා. පැමිණ ටික දිනකින් ම කුමුදු ක්‍රීඩාවට යොමු කෙරෙනවා. පාසල් මට්ටමේ දී නිවාසාන්තර තරගවලට සහභාගී වූවත්, කුමුදුට ක්‍රීඩාව ගැන එතරම් දැනීමක් තිබුණෙ නැහැ. සැරසේන්.., එලවේන්.., යා… කියන කොට දුවන පුරුද්ද මිසක් වෙන දෙයක් ඇය ක්‍රීඩාව ගැන දැනගෙන හිටියෙත් නැහැ. 

“2006 කොළඹ ආව මම රිහැබ් ලංකා එකත් එක්ක ක්‍රීඩාවට යොමු වුනා. පුහුණුවීම් කරපු කෙටි කාලයෙන් පස්සේ පැරා ජාතික ක්‍රීඩා උළෙලට සහභාගී වුනා. ඒකෙදී මීටර් 100, 200 සහ දුර පැනීමේ ඉසව්වලින් රන් පදක්කම් දිනා ගන්න මට හැකි වුනා.”

එතැන් සිට කුමුදුගේ ක්‍රීඩා දක්ෂතා පැරා පිටියේ විකාශය වුනා. ඒ අතරට ඊට පසු වසරේ දී මැලේසියාවේ පැවති විවෘත මලල ක්‍රීඩා උළෙලේ දී ඇය මීටර් 200 ඉසව්වෙන් ලෝකඩ පදක්කමත්, 2010 චීනයේ පැවති ආසියානු පැරා තරගාවලියේ දී මීටර් 200 ලෝකඩ පදක්කමත්, 2012 මැලේසියාවේ විවෘත පැරා මලල ක්‍රීඩා උළෙලේ දී මීටර් 100 සහ 200 ඉසව්වලින් රිදී පදක්කම් ද, 2016 පැවති ආසියානු පැරා ශූරතාවලියේ දී මීටර් 200 ලෝකඩ පදක්කම ද, 2018 ඉන්දුනීසියාවේ පැවති ආසියානු පැරා තරගාවලියේ දී දුර පැනීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ද සහ 2021 ඩුබායි හී පැවති World Para Athletics Grand Prix තරගාවලියේ දී දුර පැනීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමත්, එම තරගාවලියේ ම මීටර් 100 ඉසව්වෙන් සිව්වැනි තැනත් දිනා ගැනීමට සමත් වුනා.  

ඇය ඊට අමතරව 2019 ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියට මීටර් 100 සහ දුර පැනීම් ඉසව්වලට සහභාගී වීමටත් සහ  සහභාගී වීමට වාසනාවන්ත වුනා. 

කුමුදු, මෙරට නියෝජනය කරමින් පැරාලිම්පික් උළෙලකට සහභාගී වන දෙවැනි ක්‍රීඩිකාවයි. මීට පෙර පැරාලිම්පික් උළෙලක් නියෝජනය කළ ක්‍රීඩිකාව වී සිටියේ අමරා ඉන්දුමතී. ඇය 2012 ලන්ඩන් පැරාලිම්පික් උළෙල සහ 2016 රියෝ පැරාලිම්පික් උළෙල නියෝජනය කළා. කුමුදු පැරාලිම්පික් උළෙලක්  නියෝජනය කරන්නේ පළමු වතාවට.

කුමුදු (වම) අමරා (දකුණ)

“ඉස්සෙල්ලා ම කොළඹ ආවා. ටික කාලයකට පස්සේ නැවත ගමේ ගියා. ගමේ සිට පුහුණුවීම්වලට සහභාගී වුනා. නමුත් ඒක දුෂ්කර දෙයක්. නැවත කොළඹ ආවා. රිහැබ් ලංකා එකට මුලින් දුවලා පස්සේ MAS Holdings ආයතනයට සම්බන්ධ වුනා. එතැනින් අපට අවශ්‍ය සෑම පහසුකමක් ම සපයනවා. අපිට පුහුණුවීම් සඳහා මෙන් ම තරගවලට සහභාගී වීම සඳහා අවශ්‍ය තරම් නිදහස කිසිදු කොන්දේසියක් නොමැතිව ලබා දෙනවා. ඒ ගැන ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඒ සහයෝගය නිසා තමයි මම අද මෙතැන ඉන්නේ”, කුමුදු පවසනවා. 

මෙවර ටෝකියෝ ගිම්හාන පැරාලිම්පික් උලෙළ සඳහා සහභාගී වන හමුදාමය නොවන එක ම ක්‍රීඩිකාව වන්නේ ද කුමුදු පමණයි. 

“පැරා ක්‍රීඩා සම්මේලනය අපිව පරිස්සම් කර ගනිමින් මෙතැනට ගෙන ආවා. ඒ වගේ ම ඊට ක්‍රීඩා අමාත්‍යංශය සහ වත්මන් ක්‍රීඩා ඇමතිතුමා ද විශාල සහයෝගයක් දැක්වූවා. රට වෙනුවෙන් ඉටු කරන්න ලොකු වගකීමක් තියෙනවා. ඒ වෙනුවෙන් මම කැප වෙනවා.”

පසුගිය කාලයේ කොරෝනා වසංගත තත්ත්වය කුමුදුලාගේ පුහුණුවීම්වලට යම් යම් අවස්ථාවල බාධා එල්ල කළා. ඒත් කුමුදුගේ පුහුණුකරු හරිජන් රත්නායක සමඟ එක්ව ලද අවස්ථාවල පුහුණුවීම්වල නිරත වීමට ඔවුන් වග බලා ගත්තා. 

“හරිජන් සර්ගෙත් බලාපොරොත්තුව මම මෙවර ක්‍රීඩා උළෙලේ දී විශාල වෙනසක් කරයි කියන එක. ඒ වෙනුවෙන් අපි ගොඩක් වෙහෙස වෙලා අසීරු පුහුණුවීම් සැසි කිහිපයක් ම කළා. මේ  දවස්වල නිරෝධායනය වෙලා ඉන්න ගමන් ද අපි ලැබෙන අවස්ථාවන් අනුව පුහුණුවීම් කරනවා. පැරාලිම්පික් සඳහා සහභාගී වෙන අනෙකුත් අයගේ දක්ෂතා ගැන සොයා බලමින් ඔවුන්ට සාර්ථකව මුහුණ දීමට සැලසුම් කරනවා.“

බුත්තල, දුෂ්කර ගම්මානයක දෑත් මෙන් ම ඇසකුත් අහිමිව සිටි කුමුදුගේ ජීවිතය මේ තරමින් එළිය කළේ ප්‍රේමදාස දිසානායක මහතා කියලයි කුමුදු පවසන්නේ. ඔහු මුණ නොගැසුණා නම් කුමුදුගේ ජීවිතය මේ වෙද්දී බුත්තල පොළොව හා අමාරුවෙන් ඔට්ටු වෙන ආබාධිත ගෙවිලියක වීමට ඉඩ තිබුණා. 

“මගේ ජීවිතයේ ලොකු වාසනාවක් තිබිල තියෙනවා ප්‍රේමදාස සර් හමුවෙන්න. මම විතරක් නෙමේ මා වැනි විශාල පිරිසකට ප්‍රේමදාස සර්ලා උදව් කරනවා. ඔවුන්ට ජීවිතය ගොඩ නගා දෙනවා. ප්‍රේමදාස සර්ටත් රිහැබ් ලංකා ආයතනයටත් මම ණය ගැතියි. ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේ හැම කෙනෙක් ම අපි වගේ අය දිහා ඒ විදිහට බලනවා නම් අපි වගේ අය තව තවත් ශක්තිමත් වේවි. මට ඔවුන්ගෙන් ලැබුණ දේවල් නිසා අද මම මෙතැන ඉන්නවා. අනෙක් අයගෙනුත් මම ඉල්ලා සිටින්නේ මා වැනි අය කිසිවිටකත් කොන් කරන්න එපා. අපිට අනුකම්පාව අවශ්‍ය නැහැ. අපි වගේ ආබාධිත වූ අය හැම අතකින් ම ශක්තිමත්. අවශ්‍ය වන්නේ ඔවුන්ගේ ඒ ශක්තිමත් බවින් නැගී සිටීමට උදව් කිරීමයි”, කුමුදු ප්‍රියංකා පවසනවා. 

පැරාලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කරන කුමුදු ප්‍රියංකාට ThePapare.com හී උණුසුම් සුබ පැතුම්.

ටෝකියෝ ගිම්හාන පැරාලිම්පික් උළෙලේ සියලු තොරතුරු ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානමින් සිටිනවා. තරගාවලිය මේ මස 24 වැනිදා සිට සැප්තැම්බර් 5 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සිරි අසිරිය විඳගන්න, රැඳී සිටින්න ThePapare.com අපි සමඟම.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<