සෙනුජ සහ රිශ්ම වැටුණ ඉනිම ගොඩ ගනී

U19 School Cricket 2026

2
U19 School Cricket 2026

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ Tier A ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (28) කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී  ආරම්භ වූණා.

කොළඹ 10, සාන්ත ජෝසප් විද්‍යාලය සහ කොළඹ 7, රාජකීය විද්‍යාලය අතර පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ සාන්ත ජෝසප් විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තා.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ට ක්‍රීඩා කිරිමට හැකි වෙන්නේ තේ විවේකය දක්වා පමණයි. තරගය අයහපත් කාලගුණ තත්ත්වය මත නතර කරන විට ඔවුන් කඩුලු 4ක් දැවී ලකුණු 226ක් ලබා සිටි අතර දිනයේ අහිමි වූ පන්දුවාර ප්‍රමාණය 29ක්.

සාන්ත ජෝසප් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

රිශ්ම අමරසිංහ (නායක), යෙනුල දන්තනාරායන, අවීශ සමාශ්, පමෝද් දල්පදාදු (කඩුලු රකින්නා), සෙනුජ වැකුණගොඩ, චේතින කාවින්ද, තිසග පෙරේරා, සඳරු පීරිස්, දිල්ප මදුරංග, විග්නේශ්වරන් ආකාශ් සහ නුශාන් පෙරේරා.

රාජකීය විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

රෙහාන් පීරිස් (නායක), රමිරු පෙරේරා, විමත් දින්සර, තෙවිඳු වේවැල්වල, හිරුන් ලියනාරච්චි, උදන්ත ගනේවත්ත (කඩුලු රකින්නා), දුශේන් උඩවෙල, මහිරු කොඩිතුවක්කු, නිටේෂ් ජයසිංහ, ගගන් ගමගේ සහ හිමරු දේශාන්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත පීතර විද්‍යාලයීය ඉනිමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 11ක් වෙද්දී නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට රාජකීය ක්‍රීඩකයෝ සමත් වෙනවා.

ඒ අනුව යෙනුල දන්තනාරායන (6), අවීශ සමාශ් (4) සහ පමෝද් දල්පදාදු (0) ඉනිමේ පළමු පන්දුවාර 5 තුළ දී  රාජකීයන්ගේ ගොදුරු බවට පත් වෙනවා.

නමුත් එතැන් සිට සාන්ත ජෝසප් විද්‍යාලයීය ඉනිමට සාර්ථක ලකුණු පුවරුවක් ගොඩ නැගීමට උප නායක සෙනුජ වැකුණගොඩ සහ නායක රිශ්ම අමරසිංහ සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව සිව් වැනි කඩුල්ලට ලකුණු 179ක සබඳතාවක් ගොඩ නගනවා.

එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ රිශ්ම අමරසිංහ ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 120කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 73ක් ලබා සිටියා.

තරගය තේ විවේකයෙන් අනතුරු ව අයහපත් කාලගුණ තත්ත්වය මත නතර කරන විට සෙනුජ වැකුණගොඩ පන්දු 178කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 118ක් ලබා සිටි අතර අනෙක් අන්තයේ සිට චේතින කාවින්ද පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 15ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී මහිරු කොඩිතුවක්කු ලකුණු 64කට කඩුලු 2ක් දවා ගනිමින් දිනයේ වැඩිම කඩුලුලාභියා වෙද්දී දුශේන් උඩවෙල සහ ගගන් ගමගේ කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • සාන්ත පීතර විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 226 (61.0)සෙනුජ වැකුණගොඩ නොදැවී 118, රිශ්ම අමරසිංහ 73, මහිරු කොඩිතුවක්කු 2/64

මෙම තරගය හෙට (29) 2 වැනි දිනයටත් පැවැත්වීමට නියමිතයි.

අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<