ආබාධ නිසා චෙන්නායිට අසාධ්‍යයි!

IPL 2023

819
IPL 2023

මෙවර IPL තරගාවලියේ දී ද Chennai Super Kings කණ්ඩායමට නායකත්වය ලබා දෙන MS Dhoni විසින් පසුගිය 12 වැනිදා සිය 200 වැනි IPL තරගයට නායකත්වය ලබා දීමට සමත් වුනා.

නමුත් එම තරගය Rajasthan Royals හමුවේ පරාජය වීමට Dhoni ප්‍රමුඛ Chennai කණ්ඩායමට සිදු වූ සේම, තරගයේ අවසන් පන්දුවාරය වන විට Dhoniගේ පාදයේ යම් ආබාධයක් ඇති බවට ඔහු කඩුලු අතර දිව යන ස්වරූපය අනුව පෙනී ගියා.

මේ පිළිබඳ නිල වශයෙන් ප්‍රකාශයක් සිදු කරමින් CSK කළමනාකාරිත්වය පවසා තිබෙන්නේ, ඔහුගේ දණහිස පෙදෙසේ යම් ආබාධයක් ඇති වී ඇති නමුත්, එමඟින් ඉදිරි තරගවල දී ඔහුගේ සහභාගීත්වයට බලපෑමක් ඇති නොවනු ඇති බවයි.

“ඔහු දණහිසේ ආබාධයකට ලක්වෙලා ඉන්නේ. ඔහුගේ සමහර චලනවලින් ඒක දැක ගන්න පුළුවන්. ඔහුට එය තරමක බාධාවක් වෙලා තියෙනවා. නමුත් ඔහුගේ ශාරීරික යෝග්‍යතාව ඉතාම හොඳ වෘත්තීය මට්ටමක තියෙනවා. ඔහු තරගාවලිය ආරම්භ වෙන්න මාසයකට කලින් ආවේ. ඔහු විශිෂ්ට ක්‍රීඩකයෙක්. අපිට ඔහු ගැන කිසිම සැකයක් නැහැ.”

Chennai පුහුණුකරු Stephen Fleming විසින් සිය කණ්ඩායම් නායකයා පිළිබඳ දැඩි විශ්වාසයකින් පසුවනවා.

එමෙන්ම බොහෝ IPL කණ්ඩායම්වලට සේම Chennai Super Kings කණ්ඩායමට ද මේ වන විට විශාල වශයෙන් ක්‍රීඩක ආබාධවල බලපෑම එල්ල වී ඇති අතර ඉන්දියානු රුපියල් කෝටි 16.25ක් වැනි අති විශාල මුදලක් වැය කරමින් සිය කණ්ඩායම වෙනුවෙන් තෝරා ගත් Ben Stokesගේ ආබාධය ඒ අතරින් ඔවුන්ව වඩාත් ම රිදවනු ලබන ආබාධය බව නොරහසක්.

පන්දු යවමින් සිටිය දී වම් පාදයේ ඇඟිල්ලක ඇති වූ ආබාධයක් නිසා ඔහුට සිය කණ්ඩායම ක්‍රීඩා කළ අවසන් තරග දෙකම මග හැරුණා. බොහෝ දුරට ඔහුට තවත් සතියකට අධික කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇති අතර ඒ නිසා අවම වශයෙන් තවත් තරග තුනක් පමණ මග හැරී යාමට ඉඩකඩ පවතින බවයි CSK වෙතින් දැන ගැනීමට ලැබෙන්නේ.

එමෙන්ම ඔවුන්ගේ ප්‍රධානත ම වේගපන්දු යවන්නා වන Deepak Chaharව ද ආබාධයකට ලක් වී ඇති අතර නැවත ඔහුට කණ්ඩායම සමඟ එක් වීමට නම් අවම වශයෙන් ලබන මාසයේ (මැයි) පළමු සතිය තෙක් බලා හිඳීමට සිදු වනු ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම දකුණු අප්‍රිකාවෙන් පෑයූ තවත් නවක වේගපන්දු තරුවක් වන Sisanda Magala ද පසුගිය දා Rajasthanය සමඟ පැවැත්වුණු තරගයේ දී පන්දුවාර 2ක් පමණක් යැවීමෙන් පසු ආබාධයක් නිසා පන්දු යැවීමෙන් ඉවත් වූ අතර ඔහුට නැවත Chennai වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තවත් සති දෙකක් පමණ බලා හිඳීමට සිදු වනු ඇති බවයි දැන ගන්නට ලැබෙන්නේ.

මෙතෙක් තරගාවලියේ සහභාගී වූ තරග හතරෙන් දෙකක් ජයග්‍රහණය කර, දෙකක් පරාජය වී ඇති Chennai Super Kings කණ්ඩායම මේ වන විට IPL ලකුණු සටහනේ 5 වැනි ස්ථානයේ පසු වනවා. එමෙන්ම ඔවුන් මුහුණ දීමට නියමිත මීළඟ තරගය මෙම මස 17 වැනිදා (සඳුදා) Royal Challengers Bangalore සමඟ පැවැත්වීමට නියමිතයි.

මෙවර IPL තරගාවලියේ සියලු තරග ඔබ වෙත සජීවී ව සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<