තරගයේ පරාජයට Dhawan පිතිකරුවන්ට දොස් පවරයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

959
Shikhar Dhawan blames Punjab Kings batting unit

ඊයේ (10) Sunrisers Hyderabad කණ්ඩායම සමඟ පැවති තරගයේ පරාජයට හේතු වූ පිතිකරුවන්ගේ දුර්වල ක්‍රීඩා විලාශය පිළිබඳව Punjab Kings නායක Shikhar Dhawan දොස් පවරා තිබෙනවා.

“පිතිකරණ බළඇණියක් විදියට අපේ කඩුලු රැසක් එක ළඟ දැවී යාම නිසා විශාල ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට නොහැකි වීම නිසයි අපිට තරගය ජයග්‍රහණය කරන්න බැරි වුනේ.

අපි ලකුණු 170-80ක් ලබා ගත්තා නම් තරගයක් ලබා දීමට තිබුණා. මේ තණතීරුව පිතිකරණයට හොඳ තණතීරුවක් ලෙස පෙනුනත්, සමහර වෙලාවට ඒකේ දෝලනයක් සහ ඉපිලීමක් දක්නට ලැබුණා,” යැයි Shikhar Dhawan ප්‍රකාශ කළා.

සිය කණ්ඩායම වෙනුවෙන් අගනා ලකුණු 99ක් නොදැවී ලබා ගැනීමෙන් අනතුරුව සිය ඉනිම පිළිබඳ ඔහු ප්‍රකාශ කළේ, එම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමට හැකි වේ යැයි ඔහු විශ්වාස නොකළත්, තරගයට අවශ්‍ය පරිදි ක්‍රීඩා කළ බවයි.

“මම තරගයට අනුව හැඩ ගැහිලා ක්‍රීඩා කළා. ඇත්තටම අනෙක් අන්තයට වෙලා කඩුලු වැටෙනවා බලන් ඉන්න එක හරි අමාරු දෙයක්. අපි කඩුල්ලට ගිහින් ක්‍රීඩා කරද්දී එහි දෝලනයක් වගේම පන්දුව පහතින් ගමන් කරපු අවස්ථා ද තිබුණා. මේක මට වගේම මගේ කණ්ඩායමේ ක්‍රීඩකයින්ට හොඳ අත්දැකීමක්.

මම සතුටු වෙනවා මං ලබා ගත්ත ලකුණු 99 ගැන. මම හිතුවේ නැහැ මට ඒක කරන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා මම ඒ ඉනිම ගැන ඉතාමත් සතුටු වෙනවා.”

Punjab Kings කණ්ඩායමේ ලකුණු 88ක් තුළ කඩුලු 9ක් දැවී තිබූ අවස්ථාවේ අවසන් කඩුල්ල සඳහා Mohit Rathee සමඟ එක්ව ලකුණු 55ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩ නැගීමට Dhawanට හැකි වුනා.

ලකුණු 144ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි Sunrisers Hyderabad ක්‍රීඩකයින් පන්දුවාර 17.1ක් අවසානයේ ජයග්‍රාහී සීමාව පසු කළ අතර Rahul Tripathi පන්දු 48ක් තුළ නොදැවී 74ක් රැස් කළා.

“අපිට ආරම්භයේ තරමක් අපහසු වූවත් මම සතුටු වෙනවා ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් වුන එක ගැන. Markande ඉතාමත් හොඳින් පන්දු යැව්වා. Tripathi අනික් අන්තයේ ඉද්දී පන්දුවට පහර දෙන එක ඒ තරම් අපහසු වුනේ නැහැ. මේක අපේ තරගාවලියේ පළවෙනි ජයග්‍රහණය. ඒ නිසා ඒක ගොඩක් වැදගත්,” යැයි Hyderabad නායක Aiden Markram ප්‍රකාශ කළා.

කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ Mayank Markande ප්‍රතිවාදීන්ට ප්‍රබල පීඩනයක් එල්ල කරමින් ලකුණු 15කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනා.

“මට අවස්ථාවක් ලැබීම ගැන ගොඩක් සතුටු වෙනවා. මගේ රාජකාරිය තමා මැද පන්දුවාර වල කඩුලු දවා ගන්න එක. මම පන්දු සෙමින් යැව්ව නිසා මට කඩුලු දවා ගන්න පුළුවන් වුනා. ආදේශක නීතිය එක්ක ඔබ හැම වෙලාවෙම සූදානම් වෙලා ඉන්න ඕන,” යැයි Markande ප්‍රකාශ කළා.

මෙම තරගය Sunrisers Hyderabad ජයග්‍රහණය කළත් සිය කණ්ඩායම වෙනුවෙන් දියත් කළ කැපී පෙනෙන ඉනිම නිසා තරගයේ වීරයා සම්මානය හිමි වුනේ Shikhar Dhawan හටයි.

මෙවර IPL තරගාවලියේ සියලු තරග සජීව ලෙස ඔබ වෙත ThePapare.com ඔස්සේ නැරඹිය හැකි. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<