කනිෂ්ඨ මලල ක්‍රීඩා පිටියේ නව තරගාවලි වාර්තා 3ක්

400

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය දින 4ක් පුරාවට කාර්යබහුල කරවමින් 2022 ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය අද (07) ආරම්භ වුනේ නව තරගාවලි වාර්තා අලුත් වෙමිනුයි.

මෙම තරගාවලිය මැයි 10 වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබුණත් සමාරම්භක දිනයේ දී දිවයිනේ උද්ගත වූ කලබලකාරී තත්වය නිසාවෙන් තරගාවලිය ප්‍රථම දිනයට පමණක් සීමා වෙමින් කල් දැමීමට සංවිධායකයින් තීරණය කළා. ඒ අනුව තරගාවලියේ පැවැත්වීමට නොහැකි වූ සෙසු දින 4 ජුනි 7 වැනිදා සිට 10 වැනිදා දක්වා සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

මොරටුව වේල්ස් කුමරි විදුහලේ කෙෂාවි උදේශානි වීරසිංහ ද නව තරගාවලි වාර්තා පිහිටුවන්නට සමත් වුනේ 16න් පහළ හෙල්ල විසිකිරීම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගනිමිනුයි. ඇය විසින් වාර්තා කළ දක්ෂතාවය ලෙස සටහන් වුනේ මීටර් 37.42ක් ලෙසයි.

20න් පහළ මීටර් 110ක බාලක කඩුලු පැනීම ඉසව්ව තරමක් උණුසුම් ඉසව්වක් ලෙස අවසන් වුනේ නව තරගාවලි වාර්තාවක් සමඟින් වීම විශේෂත්වයක්. කොළඹ රාජකීය විදුහලේ නදුන් බණ්ඩාර විසින් එම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේ තත්පර 14.14ක කාලයකින් ඉසව්ව අවසන් කරමිනුයි.

පානදුර රාජකීය විදුහලේ ජයවි රත්නිඳු අල්විස් විසින් 18න් පහළ බාලක යගුලිය දැමීම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගන්නට සමත් වුනේ මීටර් 16.98ක දුරක් වාර්තා කරමිනුයි. අද දිනයේ අලුත් වූ නව තරගාවලිය අතරට එකතු වූ අවසන් වාර්තාව මෙයයි.

>> අද පැවති සියලු ඉසව් හි ලකුණු සටහන <<

සමාරම්භක දිනයේ පැවති අවසන් මහා තරග ඉසව් අතරින් 23න් පහළ බාලක මීටර් 10,000 ඉසව්ව ජයග්‍රහණය කරන්නට මිනිත්තු 33:27.61කින් ඉසව්ව අවසන් කළ Kugendra Prasan සමත් වුනා. ඔහු පුස්සැල්ල හින්දු  විදුහලේ සිසුවෙක්. ඔහුට තත්පර දෙකක් පමණ ප්‍රමාද වූ (33:29.43) යුද හමුදා ක්‍රීඩක නුවන් කුමාර දෙවැනි ස්ථානය දිනා ගත්තා.

20න් පහළ මීටර් 5000 කාන්තා ඉසව්ව ජයග්‍රහණය කරන්නට නිමල මරියා බාලිකා මහ විදුහලේ ඕෂදි නිලුමිකා සමත් වුනේ මිනිත්තු 19:30.65ක දක්ෂතාවයක් සමඟිනුයි.  එම ඉසව්වේම 23න් පහළ කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනා ගන්නට සමත් වුනේ නයනා සෙව්වන්දි විසිනුයි. ඇය වාර්තා කළ කාලය සටහන් වුනේ මිනිත්තු 19:37.53ක් ලෙසයි.

තරගාවලිය හෙටත් (08) සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර තරගාවලියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<