ධනුක සහ අමේෂා තරගාවලි වාර්තා ද්විත්වයක් බිඳ හෙළයි

ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය 2022

175

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ දෙවැනි දිනය වූ අද (08) දිනය අවසන් වුනේ කඩුලු පැනීම ඉසව්වේ තරගාවලි වාර්තා ද්විත්වයක්ම බිඳ හෙළමිනුයි.

තරගාවලියේ වයස අවුරුදු 20න් පහළ බාලක මීටර් 400 කඩුලු පැනීමේ අවසන් තරගයට සහභාගී වූ එම ඉසව්වේ ජාතික ශූර ධනුක දර්ශන තත්පර 52.11ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් නව තරග වාර්තාවක් සමඟ ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වුනා.

අවුරුදු 20න් පහළ බාලිකා මීටර් 100 කඩුලු පැනීමේ ඉසව්ව තත්පර 14.86ක කාලයකින් අවසන් කිරීමට අමේෂා හෙට්ටිආරච්චි සමත් වුනේ එම ඉසව්වේ තරගාවලි වාර්තාව තමන් සතු කරගනිමිනුයි.

ඊයේ (07) දිනයේ දී අවුරුදු 20න් පහළ බාලිකා මීටර් 400 කඩුලු පැනීම ඉසව්වේ ද තරගාවලි වාර්තාවක් පිහිට වූ අමේෂා හෙට්ටිආරච්චි එම ඉසව්වේ අවසන් තරගය ජයග්‍රහණය කළේ මිනිත්තු 1:01.40ක කාලයකින් තරගය අවසන් කරමිනුයි.

දෙවැනි දිනය ආරම්භ කරමින් පැවති පළමු ඉසව්ව වූ බාලිකා මීටර් 10,000 තරගය මිනිත්තු 35:14.57ක කාලයකින් අවසන් කරමින් ජය ගැනීමට සදීශ අනුෂ්ක සමත් වූ අතර දෙවැනි ස්ථානය එන්. මද්දුමබණ්ඩාර විසිනුත් තෙවැනි ස්ථානය පසිඳු කවිශ්ක විසිනුත් දිනා ගත්තා.

ජාතික මලල ක්‍රීඩා පිටියේ වර්තමානයේ කැපී පෙනෙන ක්‍රීඩිකාවක් වූ තරුෂි කරුණාරත්න (මිනිත්තු 2:10.18) විසින් අවුරුදු 20න් පහළ බාලිකා මීටර් 800 ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

අවුරුදු 20න් පහළ බාලක මීටර් 110 කඩුලු පැනීම ඉසව්වේ ඊයේ (07) පැවති මූලික තරගය තත්පර 14.14ක කාලයකින් අවසන් කරමින් නව තරගාවලි වාර්තාවක් පිහිට වූ කොළඹ රාජකීය විද්‍යාලයේ නඳුන් බණ්ඩාර අද පැවති අවසන් තරගය තත්පර 14.24ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහණය කළා.

ජාතික මලල ක්‍රීඩා පිටියේ බාලිකා මීටර් 200 ඉසව්වේ ජාතික ශූරිය වන මේධානි ජයමාන්න වයස අවුරුදු 23න් පහළ බාලිකා මීටර් 200 ඉසව්ව තත්පර 25.09ක කාලයකින් අවසන් කරමින් ජය ගැනීමට සමත් වන විට තවත් කැපී පෙනෙන යොවුන් ක්‍රීඩිකාවක් වන දුල්‍යානා සුළුදාගොඩ අවුරුදු 20න් පහළ බාලිකා මීටර් 200 ඉසව්ව ජය ගත්තේ තත්පර 25.06ක කාලයකින් ඉසව්ව නිමා කරමින්.

මෙම තරගයන්ට අමතරව අද (08) තවත් අවසන් තරග කිහිපයක් සහ මූලික වටයේ ඉසව් කිහිපයක් පැවැත්වුනා.

>>තරගාවලියේ මෙතෙක් පැවති තරග ප්‍රතිඵලයන්<<

තරගාවලිය හෙටත් (00) සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර තරගාවලියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<