ක්‍රිස්ටල් පැලස්ට පාපන්දු සම්මේලනයෙන් දඬුවම්

297

ප්‍රේක්ෂකයින් විසින් බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් හට පහර දීමේ සිදුවීමට අදාළව ක්‍රිස්ටල් පැලස් පාපන්දු සමාජයට සහ ඔවුන්ගේ ලේකම් වරයාට තහනමක් සහ දඩ මුදලක් ගෙවීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) නියෝග කර ඇත.

බ්ලූ ස්ටාර් ක්‍රීඩකයින්ට නාවලපිටියේ ප්‍රේක්ෂකයින්ගෙන් ප්‍රහාරයක්

නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය හා ක්‍රිස්ටල් පැලස් …

මෙම සිදුවීම සිදු වූයේ 2018/19 ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ 9 වැනි සතියේ තරගයක් ලෙස නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ දී පැවති ක්‍රිස්ටල් පැලස් සහ බ්ලූ ස්ටාර් කණ්ඩායම් අතර තරගය අවසානයේ දී වන අතර එහි දී ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩකයින් තරගය ගෝල 1-0ක් ලෙස ජය ගැනීමෙන් අනතුරුව ක්‍රීඩාලෝලීන් අතර වචන හුවමාරුවක් සිදුවී ඇත. පසුව ප්‍රේක්ෂකයින් විසින් බ්ලූ ස්ටාර් ක්‍රීඩකයින් හට පහර දී ඇති අතර එම අවස්ථාවේ දී ක්‍රීඩාංගණය තුළ ආරක්ෂක නිලධාරීන් හෝ පොලිස් නිලධාරීන් කිසිවෙක් සිට නොමැත.

ඒ අනුව අදාළ සාධක සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් ක්‍රිස්ටල් පැලස් පාපන්දු සමාජයේ ලේකම් එම්. එන්. නසාර් හට තරග 3ක් සඳහා තහනම් නියෝගයක් නිකුත් කර ඇති අතර තවදුරටත් ක්‍රීඩාලෝලීන්ගෙන් සිදු විය හැකි ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් ඔවුන්ට රුපියල් 25,000ක දඩ මුදලක් ද ගෙවීමට නියෝග කර ඇත.

ආසියානු කුසලානයට ලංකාවෙන් ප්‍රවීණ විනිසුරුවරුන් දෙදෙනෙක්

පාපන්දු විනිසුරුවරුන් වන දිලාන් පෙරේරා හා පාලිත හේමතුංග ශ්‍රී ලංකාව …

එමෙන්ම තවදුරටත් ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජයේ තරග 3ක් සඳහා ද ජයතිලක ක්‍රීඩාංගණය තහනම් කර ඇත. කෙසේ නමුත් ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජය විසින් කළ අභියාචනයක් සැලකිල්ලට ගනිමින් ජයතිලක ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියනිතව තිබූ මීළඟ තරගය වන ජාවා ලේන් ක්‍රීඩා සමාජය සමග තරගය පමණක් ක්‍රීඩාලෝලීන්ගේ සහභාගීත්වයෙන් තොරව එම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට පාපන්දු සම්මේලනය විසින් අවසර ලබා දී ඇත.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<