නිශාන්, රවිඳු සහ සොනාල් අර්ධ ශතක ලබා ගනී

India Tour of Sri Lanka 2026

1
India Tour of Sri Lanka 2026

සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ මෙරට සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තෙදින පුහුණු තරගයේ පළමු දිනය අවසන් වෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 363ක් ලබා සිටියා.

කොළඹ,  NCC ක්‍රීඩාංගණයේ දී අද (7) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගත්තා.

ලංකා ක්‍රිකට් XI කණ්ඩායම් ඉනිමේ ආරම්භක පිතිකරුවන් ලෙසින් පිටියට පිවිසියේ නිශාන් මදුශ්ක සහ රවිඳු රසාන්ත. ඔවුන් දෙදෙනා එක් ව සත්කාරක ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගන්නවා.

ඔවුන් දෙදෙනා එක් ව 1 වැනි කඩුල්ලට පන්දු 124ක දී ලකුණු 110ක සබඳාවක් එක් කරනවා. ඔවුන්ගේ එම සබඳතාව නිමා වෙන්නේ නිශාන් මදුශ්ක ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 66ක් ලබා සිටියා.

රවිඳු රසාන්ත ඉනිමේ 3 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 143කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 71ක් ලබා සිටියා. ඔහු පසිඳු සූරියබණ්ඩාර හා සමඟින් ද 2 වැනි කඩුල්ලට පන්දු 120ක දී ලකුණු 61ක සබඳතාවක් ගොඩ නගනවා.

පසිඳු සූරියබණ්ඩාර පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 35ක් ලබා ගත් අතර ඊට පසුව පිටියට පිවිසි පවන් රත්නායක පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 39ක් ද, අහන් වික්‍රමසිංහ පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 31ක් ද ලබා ගන්නවා.

නායක සොනාල් දිනූෂ පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 52ක් ලබා ගන්නා ලද අතර ඔහු රමේෂ් මෙන්ඩිස් හා එක් ව 7 වැනි කඩුල්ලට පන්දු 84ක දී ලකුණු 63ක සබඳතාවක් ගොඩ නගනවා.

එම සබඳතාව වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 32ක් එක් කළා.

කඩුලු දවා ගැනීමේ දී Manav Suthar, Ravindra Jadeja සහ Kuldeep Yadav කඩුලු 2ක් බැගින් දවා ගත් අතර ඊට අමතර ව Gurnoor Brar කඩුල්ලක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 363 (90.0) නිශාන් මදුශ්ක 66, රවිඳු රසාන්ත 71, පසිඳු සූරියබණ්ඩාර 35, පවන් රත්නායක 39, අහන් වික්‍රමසිංහ 31, සොනාල් දිනූෂ 52, රමේෂ් මෙන්ඩිස් 32,  Ravindra Jadeja 2/64, Kuldeep Yadav 2/76, Manav Suthar 2/33

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ මෙරට සංචාරයේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<