ඉන්දියාව පෙරමුණ ගනිද්දී ශ්‍රී ලංකාව තවත් පස්සට

157

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ නවතම වාර්ෂික ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු ස්ථානය ඉන්දියාවට හිමිව තිබෙනවා. දෙවන තැන හිමිව ඇත්තේ නවසීලන්තයටයි.

එමෙන්ම පළමු සහ දෙවැනි ස්ථාන ද්විත්වය හිමිකරගත් ඉන්දියාව සහ නවසීලන්තය ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරගයට තේරී පත්ව ඇති කණ්ඩායම් වීම ද විශේෂත්වයකි.

ඉන්දීය කණ්ඩායම ප්‍රසාද ලකුණු 121ක් ලබා ගනිමින් මෙම වර්ගීකරණයේ පෙරමුණට පැමිණීමට සමත්ව ඇති අතර ඔවුන්ට වඩා එක් ප්‍රසාද ලකුණක් පිටුපසින් සිට (120) නවසීලන්තය දෙවැනි තැනට පත්ව තිබෙනවා.

ඉන්දීය කණ්ඩායම අවසන් ටෙස්ට් තරගාවලි ද්විත්වයේ දී ඕස්ට්‍රේලියාව 2-1ක් ලෙස සහ එංගලන්තය 3-1ක් ලෙස පරාජය කිරීමට සමත් වූ අතර නවසීලන්ත කණ්ඩායම අවසන් තරගාවලි ද්විත්වයේ දී බටහිර ඉන්දිය කොදෙව්වන් සහ බංග්ලාදේශය 2-0ක් ලෙස පරාජය කර තිබුණා.

මෙම වර්ගීකරණයේ තෙවැනි තැනට පැමිණීමට එංගලන්තය සමත්ව ඇති නිසාවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම හතර වැනි ස්ථානය දක්වා පසුබැස තිබෙනවා. 

බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට සමත්වූවත් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම නවතම ටෙස්ට් වර්ගීකරණයෙහි 8 වැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුව ඇත්තේ ප්‍රසාද ලකුණු 78ක් සමඟින්. 

එමෙන්ම එක්දින සහ විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ද ශ්‍රී ලංකාව පසුපසට වැටී තිබෙන අතර ඒ අනුව ශ්‍රී ලංකාව පිළිවෙළින් 9 වැනි සහ 8 වැනි ස්ථානයේ පසුවෙනවා.නවතම වර්ගීකරණයේ හයවැනි ස්ථානය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමටත් (84), හත්වැනි තැන දකුණු අප්‍රිකාවට (80) සහ නවවැනි ස්ථානය බංග්ලාදේශයටත් (46) හිමිව ඇත.

එමෙන්ම සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති ටෙස්ට් තරගාවලියේ දැක්වූ ඉහළ දස්කම් සහ පසුගිය කාලසීමාවේ දී දැක්වූ දස්කම් නිසා පාකිස්තාන ටෙස්ට් කණ්ඩායමට නව වර්ගීකරණයේ පස්වැනි තැන හිමිව ඇති අතර පාකිස්තාන ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ද ක්‍රීඩක වර්ගීකරණයේ ඉහළට පැමිණ තිබෙනවා.

සිම්බාබ්වේ තරගාවලියේ දී පන්දු යැවීමෙන් ඉහළ දස්කම් දැක්වූ පාකිස්තාන ක්‍රීඩක Hasan Ali (5-27) පන්දු යවන්නන් වර්ගීකරණයේ 14 වැනි ස්ථානයටත්, Shaheen Afridi (5-52) වර්ගීකරණයේ 22 වැනි ස්ථානය දක්වාත්, Nauman Ali (5-86) 46 වැනි ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණෙමින් සිය ක්‍රීඩා දිවියේ ඉහළම වර්ගීකරණ ස්ථාන ලබාගෙන තිබෙනවා.

එමෙන්ම ඔවුන් තිදෙනාම එක් තරගයක් තුළ දී කඩුලු 5 බැගින් දවා ගැනීමට සමත් වූ අතර ක්‍රිකට් ඉතිහාසයේ එක් තරගයක් පන්දු යවන්නන් තිදෙනෙකු කඩුලු 5 බැගින් දවා ගත් 6 වැනි අවස්ථාව ද එයයි.

මීට අමතරව සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලියේ දී ද්විත්ව ශතකයක් ලබා ගත් (215) Abid Ali පිතිකරණ වර්ගීකරණයේ 38 වැනි තැන දක්වාත්, ශතකයක් රැස් කිරීමට සමත් වූ Azhar Ali 16 වැනි ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණ ඇත.

වර්තමාන ටෙස්ට් පන්දු යවන්නන් වර්ගීකරණයේ පළමු ස්ථාන 10 තුළ රැඳී සිටීමට සමත්ව ඇති එකම ඉන්දීය ක්‍රීඩකයා දඟපන්දු යවන්නා Ashwin වන අතර ඔහු පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ රැඳී සිටිනවා.

මීට අමතරව නිමා වූ පාකිස්තාන තරගාවලියේ දී දස්කම් දැක්වූ සිම්බාබ්වේ පිතිකරු Regis Chakabva පිතිකරුවන් ශ්‍රේණිගත කිරිමේ 81 වැනි ස්ථානය දක්වාත් සහ Blessing Muzarabani පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ 51 වැනි ස්ථානය දක්වාත් ඉහළට පැමිණ ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<