ශ්‍රී ලංකා එක්දින නායකත්වය ද ඇතුළුව සංචිතයේ ප්‍රබල වෙනස්කම් රැසක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය 2021

805

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න එම වගකීමෙන් ඉවත් කර 30 හැවිරිදි ප්‍රහාරාත්මක වමත් පිතිකරු කුසල් ජනිත් පෙරේරා වෙත කණ්ඩායමේ නායකත්වය ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

2019 වසරේ දී ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස තෝරා ගැනුණු දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ 24 වැනි එක්දින නායකයා බවට පත්වුනා. ඔහුගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළ එක්දින තරග 17න් 10ක් ජයග්‍රහණය කර 7ක් පරාජය වී තිබෙනවා.

ICC ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් (පිරිමි) ක්‍රිකට් තරගාවලියේ අවසන් වරට සහභාගී වූ තරගාවලියේ දී කොදෙව්වන් හමුවේ 3-0ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත්වුනා. එම තරගාවලියේ දී දිමුත් සමඟින් ඉනිම ආරම්භ කළ දනුෂ්ක ගුණතිලක, අශේන් බණ්ඩාර සහ පැතුම් නිස්සංක යන ක්‍රීඩකයින් එළඹෙන බංග්ලාදේශ එක්දින තරගාවලිය සඳහා නිකුත් වන සංචිතය සඳහා ද ඇතුළත් ව සිටින බව වාර්තා වනවා.

කුසල් පෙරේරා සහ අවිශ්ක ප්‍රනාන්දු හට එම කොදෙව් තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාවක් නොලැබුණේ ආබාධ සහ ශාරීරික යෝග්‍යතා ගැටලු නිසාවෙනි. එසේම නව තේරීම් කමිටුව අත්දැකීම් බහුල ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් වන දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, සුරංග ලක්මාල් වැනි ක්‍රීඩකයින් මේ එක්දින සංචිත තුලට නම් නොකර ඒ වෙනුවෙන් තරුණ දක්ෂ ක්‍රීඩකයින් ඇතුළත් කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.

එසේම ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ උපනායකත්වය සඳහා කුසල් මෙන්ඩිස් නම් කිරීමට වැඩි ඉඩක් තිබෙන අතර, ඒ අනුව ඉදිරියේ දී බංග්ලාදේශය සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියේ දී නවක මුහුණු රැසක් සමඟ පසුගිය එක්දින තරගාවලිවල නොසිටි ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ශ්‍රී ලංකා කණ්ඩායම තුල දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක දැනට ශ්‍රී ලංකා විස්සයි විස්ස නායකයා ලෙස කටයුතු කරනු ලබන අතර ඔහුගේ නම ද ශ්‍රී ලංකා එක්දින නායකත්වය තේරීමේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානයට යොමුව තිබුණා.

අත්දැකීම් බහුල තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන සිය ආබාධයට පසුව එළඹෙන බංග්ලාදේශ තරග සංචාරය හරහා නැවතත් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සූදානමින් සිටින අතර, වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, අකිල දනංජය සහ රමේෂ් මෙන්ඩිස් යන ක්‍රීඩකයින් ද මේ එක්දින සංචිතයට ඇතුළත්.

ඊට අමතරව පසුගිය දා නිමා වූ දේශීය පළමු පෙළ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී තරග 6ක දී කඩුලු 14ක් දවා ගත් දකුණතින් වේගපන්දු යවන ශිරාන් ප්‍රනාන්දු සහ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ද මේ සංචිතය තුල සිටින නවක ක්‍රීඩකයින් වනවා.

නවක තරුණ දක්ෂ ක්‍රීඩකයින් වන චරිත් අසලංක, කමිල් මිශාර, ධනංජය ලක්ෂාන්, මහීෂ තීක්ෂණ, භානුක රාජපක්ෂ සහ තික්ෂිල ද සිල්වා යන ක්‍රීඩකයින් ද ශ්‍රී ලංකා මූලික එක්දින පුහුණු සංචිතය සඳහා නම් කර තිබෙන බව ද වාර්තා වනවා.

ශ්‍රී ලංකා එක්දින සංචිතය – කුසල් පෙරේරා (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), දනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, අෂේන් බන්ඩාර, දසුන් ශානක, වනිඳු හසරංග, රමේෂ් මෙන්ඩිස්, අකිල දනංජය, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, චාමික කරුණරත්න, බිනුර ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ශිරාන් ප්‍රනාන්දු.

සැ.යු – මේ සංචිතය පසුගිය 6 වැනිදා අප විසින් නිකුත් කළා. නමුත් සඳහා ගරු ක්‍රීඩා අමාත්‍යතුමාගේ අනුමැතිය හිමිවීමෙන් පසුව ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් මාධ්‍යට නිකුත් වූයේ අද (12) යි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එළඹෙන 16 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිත වන අතර මේ තරගාවලිය ICC ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් (පිරිමි) ක්‍රිකට් තරගාවලියක් වනවා.

ඒ නිසාවෙන් මේ තරගාවලිය තුල හැකි උපරිම දස්කම් පෙන්වා හැකි සෑම තරගයක්ම ජය ගැනීම ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් වන අතර එසේ නොවුනහොත් 2023 වසරේ දී පැවැත්වෙන ICC ලෝක ක්‍රිකට් කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරග ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවට සිදුවනවා.

බංග්ලාදේශයේ සත්කාරකත්වය සහිතව පැවැත්වෙන මෙම එක්දින තරගාවලිය මැයි 23 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ ඩකා නුවර පිහිටි Sher-e-Bangladesh ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි. ජෛව ආරක්ෂිත පරිසරයක් (Bio Bubble) තුල කණ්ඩායම් දෙකම එක්දින තරගාවලියේ තරග 3ම ක්‍රීඩා කරන්නේ මේ ක්‍රීඩාංගණයේ දීමයි.

එක්දින තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම අන්තර් සංචිත පුහුණු තරගයක් ද ක්‍රීඩා කිරීමට නියමිතයි. තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින්.

තරගාවලියේ කාලසටහන 

දිනය තරගය ක්‍රීඩාංගණය වේලාව
මැයි 21, 2021 එක්දින පුහුණු තරගය Intra-squad BKSP – SAVAR 9.30 AM
මැයි 23, 2021 පළමු එක්දින තරගය SBNCS, Dhaka දිවා රාත්‍රි
මැයි 25, 2021 දෙවැනි එක්දින තරගය SBNCS, Dhaka දිවා රාත්‍රි
මැයි 28, 2021 තෙවැනි එක්දින තරගය SBNCS, Dhaka දිවා රාත්‍රි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<