කුසල් බේරාගන්න කළ වියදම් ගෙවන්න අයි.සී.සී.යට බැරිලු

315
Kusal Janith Perera
Pic credits - World cup live updates

තහනම් උත්තේජක ශරීර ගත වී ඇති බවට වරදකරුවකුව, පසුව එම චෝදනාවෙන් නි‍දොස් වූ කුසල් ජනිත් පෙරේරා මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැරූ වියදම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) මඟින් පියවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැරූ ප්‍රයත්නය අයි.සී.සී.ය ප්‍රතික්‍ෂේප කර ඇත.

කුසල් නිදොස් කොට නිදහස්

කෙසේවෙතත් කුසල් ජනිත් පෙරේරාගේ නිර්දෝෂී භාවය තහවුරු කර ගැනීම සඳහා වැය වූ වියදම් අයි.සී.සී. මඟින් නැවත ලබා දෙන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් හෝ කුසල් ජනිත් පෙරේරාගෙන් මේ වන තෙක් කිසිදු වාචික හෝ ලිඛිත ඉල්ලීමක් ලැබී නොමැති බව පවසන අයි.සී.සී.ය, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය නිවාරණ ආයතනයේ අනුමැතිය ලද කටාර් පරීක්‍ෂණාගාරයේ (කුසල් ජනිත්ගේ මුත්‍රා සාම්පල පරීක්ෂාව සිදුකළ පරීක්ෂණාගාරය) සිදුවන අක්‍රමිකතා පිළිබඳව තමන් හට වගකීමක් ගත නොහැකි බවද අවධාරණය කර තිබේ.

කුසල් නිර්දෝෂි ක්‍රීඩකයකු ලෙස අයි.සී.සීය මඟින් නිවේදනය කිරීමත් සමඟින් පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැති මධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ප්‍රකාශ කළේ කුසල් ජනිත් නිදහස් කර ගැනීමට වැය වූ වියදම අයි.සී.සී.ය මඟින් නැවත ලබා ගැනීමට පියවර ගන්නා බවයි.

එසේම කුසල් ජනිත් නිදොස් කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකළ වියදම් වෙනුවෙන් යම් සහනයක් ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයද එකඟතාව පළකර තිබූ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතාද මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත. නමුත් ඒ සම්බන්ධව ලිඛිත දැනුම් දීමක් තමන් වෙත ලැබී නොමැති බවත් ඉල්ලීමක් කළහොත් අයි.සී.සී. ය මඟින් මේ පිළිබඳව සලකා බලනු ඇති බවට තමන්ට විශ්වාස බවත් සිල්වා මහතා ප්‍රකාශ කර තිබිණි.

කුසල් ජනිත් නිදොස් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මිලියන 15ක මුදලක් වෙන්කර තිබූ බවත් අදාළ ක්‍රියාදාමය සදහා මිලියන 13ක පමණ මුදලක් වියදම් කිරීමට සිදුවූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර ඇත.

තවත් පුවත් සිංහලෙන් – පිවිසෙන්න