එංගලන්ත සුපිරි වේගපන්දු යවන්නා IPL හැර යයි

ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

202

මෙවර ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ Rajasthan Royals නියෝජනය කිරීමට සිටි එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක Jofra Archer තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

එංගලන්තය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති අතර ඔවුන් ප්‍රකාශ කර සිටියේ මෑතක දී Archerට සිදු කරන ලද ශල්‍යකර්මයෙන් සහ වැලමිටේ ආබාධයෙන් සුවය ලැබීමෙන් පසු පුහුණුවීම් කටයුතු වේගවත් කිරීමට මෙම තීරණය ගත් බවයි.

ආබාධයෙන් සුවය ලැබීමෙන් පසු Archer එංගලන්ත පුහුණුකරු Chris Silverwood සහ පන්දු යැවීමේ පුහුණුකරු Jon Lewis මගපෙන්වීම යටතේ පසුගිය බ්‍රහස්පතින්දා පුහුණුවීම් කටයුතුවල නිරතව තිබුණා.

ඉන්පසු ඊයේ (23) පැවති Yorkshire සහ Sussex අතර තරගයේ දිවා විවේකය අතරතුර දී දිවීමේ ව්‍යායම්වල නිරත වනු ද දක්නට ලැබුණා.

Jofra Archer ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වීම තහවුරු කරමින් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කර සිටියේ,

“එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය තහවුරු කර සිටිනවා එංගලන්ත සහ Sussex වේගපන්දු ක්‍රීඩක Jofra Archer මෙවර ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය නොකරන බව. ඔහු මේ සතියේ පන්දු යැවීමේ පුහුණුව සඳහා පැමිණි අතර එංගලන්ත සහ Sussex කණ්ඩායම් ඔහුගේ ප්‍රගතිය නිරීක්ෂණය කරනවා.

ඊළඟ දෙසතිය තුළ ඔහුට දෙවන පෙළ තරගයකට ක්‍රීඩා කිරීමට හැකි වෙයි. ඒ වගේම වේදනාවෙන් තොරව පන්දු යැවීමට Archer හැකි වූ පසු මැයි දෙවැනි සතියේ දී පමණ ඔහුට පළමු පෙළ තරගයකට ක්‍රීඩා කළ හැකි වෙයි.” 

මෙවර IPL තරගාවලියේ මුල් වටයේ පළමු තරග හතර සිය ප්‍රධාන වේගපන්දු යවන්නා නොමැතිව ක්‍රීඩා කිරීමෙන් අනතුරුව Jofraගේ පැමිණීම පිළිබඳව Rajasthan Royals බලාපොරොත්තු සහගතව සිටි නමුත් ඔහු නැවත ක්‍රීඩා කිරීමේ දිනයක් තීරණය කර නොමැති බව ප්‍රකාශ කිරීමත් සමඟ එම බලාපොරොත්තු සුන්ව ගියා.

තවත් ක්‍රිකට් පුවත්:

එමෙන්ම Jofra Archer, IPL තරගාවලිය සඳහා සහභාගී වන්නේ නම් දින හතක නිරෝධායන කාලසීමාවකට යටත් වීමට සිදු වන අතර එය තුළින් පන්දු යවන්නාගේ සූදානම සහ පන්දු යැවීම අඩාල කරන බව යන කාරණයට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය, Rajasthan Royals සහ Jofra Archer යන පාර්ශවයන් තුනම එකඟ වී තිබුණා.

ඉන්දීය කණ්ඩායම සමඟ පැවති පන්දුවාර 20 තරගාවලිය අතරතුර දී සිය අතේ ඇතිවූ කැපීමකට ශල්‍යකර්මයක් සිදු කිරීමට Jofra Archer නැවත එංගලන්තයට පැමිණි අතර එහි දී ඔහුගේ දිගුකාලීන වැලමිටේ ආබාධයකට ඔහු ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කළා.

Jofra Archerගේ ඉවත් වීම පිළිබඳව අදහස් දක්වමින් Rajasthan Royals අධ්‍යක්ෂවරයා වන කුමාර් සංගක්කාර ප්‍රකාශ කර සිටියේ එය සිය කණ්ඩායමට විශාල පාඩුවක් වූවත් තම කණ්ඩායම ආත්මාර්ථකාමී නොවූ බවයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<