“PCB සභාපති සල්ලි පස්සේ ගිහින් ක්‍රීඩාව විනාශ කරනවා”

581

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරය හොඹවන Ramiz Raja මහතා එරට ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගමණය වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ගය රැසක් සම්බන්ධයෙන් දීර්ඝ විග්‍රහයක් පසුගිය සිකුරාදා (24) දිනයේ දී සිදු කර තිබුණේ ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන ව්‍යාපෘති කිහිපයක් පිළිබඳව ද මාධ්‍ය දැනුවත් කරමිනි.

තම ධූර කාලය ආරම්භයේ සිට මේ දක්වා පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම අත්පත් කරගෙන ඇති ප්‍රගතිය ඇගයීමට ලක් කළ ඒ මහතා ඉන් අනතුරුව ලෝක මට්ටමින් පවත්නා ක්‍රිකට් ගැටලු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කර තිබුණේ BCCI සමඟ ඉදිරියේ දී ගනුදෙනු කරනා ආකාරය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් ද සිදු කරමිණි.

කෙසේ නමුත් Ramiz Raja මහතා සිදු කළ ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් මේ වන විට පාකිස්තානය නියෝජනය කළ හිටපු ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම සිය නොසතුට  පළකොට තිබුණේ ඔහු සඳහන් කර සිටි ඇතැම් කරුණු කාරණා හුදෙක් අතිශයෝක්තියෙන් සිදු කළ පුහු ප්‍රකාශයන් බවට චෝදනා කරමිනි.

Ramiz Raja යටතේ නව ගමනකට මුල පිරූ පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවට හොඳ කලදසාවක් අත්වනු ඇතැයි තමන් බලාපොරොත්තු දල්වා ගෙන සිටි නමුත් මේ වන විට තත්වය ඊට හාත්පසින්ම වෙනස් වී ඇති බවට හිටපු පාකිස්තාන ක්‍රීඩක Tanveer Ahmed පසුගිය දිනෙක අනාවරණය කර තිබුණේ ඔහු Ramiz Raja ඇතුළු නිළධාරී මඩුල්ලේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඉච්ඡාභංගත්වයට පත්වී ඇති බවට අවධාරණය කරමිනි.

“කාට හරි කියන්න පුළුවන් ද Ramiz Raja මේ පුටුවට පත්වුන දවසේ ඉඳන් මේ වෙනකල් කරපු එක ඵලදායී වැඩක් ගැන? තාමත් ජාතික කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරගන්න විදිය වගේම පුහුණුකරුවන්, සහායක කර්‍යමණ්ඩලය තෝරපත් කරගන්නේ හැකියාව දක්ෂතාව මත පදනම් කරගෙන නෙමෙයි වීම ඉතාමත් කණගාටුදායක තත්වයක්.

ඔහු මේ තනතුර භාරගත්තාම මම වුනත් විශ්වාස කළා ඔහු දැනෙන වෙනසක් කරයි කියලා. නමුත් ඒ කිසිම දෙයක් වුනේ නම් වුනේ නැහැ. ඔහුට කලින් හිටපු සභාපතිවරුන්ගෙයි Ramizගේ වෙනසක් මට පේන්නේ නෑ. හැමෝම කළේ බෝලේ පාස් කරපු එක විතරයි.”

ඉදිරියේ දී සංවිධානය කිරීමට අපේක්ෂාවෙන් පසුවන Pakistan Super League – Junior තරගාවලිය සඳහා වෙන්කොට ඇති ප්‍රතිපාදන දේශිය පළමු පෙළ දෙදින-තෙදින තරගාවලිය වැඩි දියුණු කිරීමට යොදා නොගන්නේ ඇයි දැයි ප්‍රශ්නකොට සිටින Ahmad මහතා පවසා සිටින්නේ මුදල් සහ වරප්‍රසාද පසුපස හඹායමින් එරට ක්‍රිකට් ක්‍රීඩාවෙහි ගුණාත්මකභාවය විනාශ කර දමන වැඩපිළිවෙළකට PCBය මේ වන විට අතගසා ඇති බවයි.

“නවක ක්‍රීඩකයින් ටෙස්ට් තරගවලට  තියෙන කැමැත්ත මේ එක්කම නැති වෙලා යන්න ලොකු ඉඩකඩක් තියෙනවා. මේ වගේ ලීග් තරගාවලියකට ක්‍රීඩා කරාම ක්‍රීඩකයින් මූල්‍යමය අතින් වාසිදායක වුනාට ක්‍රීඩාව පැත්තෙන් නම් වෙන්නේ විශාල පරිහානියක්. එන එන පන්දුවට හයේ පහර ගහන්න යන සංස්කෘතිකයක් බිහිවෙන එක නවත්වන්න හරි අමාරු වෙයි මේ ක්‍රමය නිසා.”

“මේ එල්ල වෙන බලපෑම අවුරුදු 13න් පහළ ඉඳන් අවුරුදු 19න් පහළ දක්වා ගමන් කරන එක වළක්වන්න අමාරුයි. ලාභ ඉපැයීමේ අරමුණින් පවත්වන T20 ලීග් තරගාවලි නිසා ක්‍රිකට් වලපල්ලට යමින් තියෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<