ඉන්දීය A ක්‍රීඩකයෝ සාර්ථක ආරම්භයක් ලබා ගනී

India A tour of Sri Lanka

4

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක ඉන්දීය A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු වැනි සිව් දින නිල නොලත් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වෙද්දී ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 333ක් ලබා සිටියා.  

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තා.  

ශ්‍රී ලංකා  A ක්‍රිකට් කණ්ඩායම 

සහන් ආරච්චිගේ (නායක), පවන්ත වීරසිංහ, නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා), නුවනිඳු ප්‍රනාන්දු, අශේන් බණ්ඩාර, අංජල බණ්ඩාර, රවිඳු ප්‍රනාන්දු, කවිඳු පතිරත්න, දුලාජ් සමුදිත, චාමික ගුණසේකර සහ දිලුම් සුදීර. 

 

ඉන්දීය A ක්‍රිකට් කණ්ඩායම 

Dhruv Jurel (නායක සහ කඩුලු රකින්නා), Sai Sudharsan, Aayush Pandey, Devdutt Padikkal, Ruturaj Gaikwad, Shaik Rasheed, Harsh Dubey, Saransh Jain, Anshul Kamboj, Yash Thakur සහ Auqib Nabi.  

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූයේ Sai Sudharsan සහ Aayush Pandey. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට ඉතා සෙමෙන් සහ ස්ථාවර ඉනිමක් ගොඩ නැගුවා. ඔවුන්ගේ සබඳතාව බිද වැටෙන්නේ දිවා විවේකයට පෙර යැවුණ අවසන් පන්දුවේදීයි.  

දිලුම් සුදීර විසින් යැවුණ එම පන්දුවට රවිඳු ප්‍රනාන්දු රැක ගත් අනර්ඝ උඩ පන්දුවක් හේතුවෙන් Aayush Pandey ඒ අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දෙනවා. ඒ වෙද්දී ඔවුන් දෙදෙනා පන්දු 141කට මුහුණ දෙමින් ලකුණු 82ක සබඳතාවක් එක් කර තිබූ අතර ඉනිම හැර ගිය Aayush Pandey පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 25ක් ලබා සිටියා.  

පළමු කඩුල්ල දවා ගත් දිලුම් සුදීර දිවා විවේකයෙන් පසුව ඉනිමේ යැවුණ 11 වැනි පන්දුවේ දී නැවත කඩුල්ලක් දවා ගනිමින් ඉන්දීය ඉනිම කඩුලු 2කට ලකුණු 96ක් බවට පත් කරනවා. එහි දී දැවී යන්නේ Devdutt Padikkal. ඔහු දැවී යන විට පන්දු 7කට 7කට මුහුණ දෙමින් ලකුණු 12ක් ලබා සිටියා.  

එතෙක් වේලා තරගයේ පාලනය සත්කාරක ක්‍රීඩකයෝ සතු වූව ද එතැන් සිට එහි පාලනය තමන් වෙත නතු කර ගැනීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වෙනවා. එහි මූලාරම්භකයා වූයේ ආරම්භක පිතිකරු Sai Sudharsan.  

ඔහු පළමුවෙන් ම Ruturaj Gaikwad එක්කර ගනිමින් 3 වැනි කඩුල්ලට පන්දු 125ක දී ලකුණු 85ක සබඳතාවක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව අවසන් වෙද්දී Ruturaj Gaikwad පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 22ක් ලබා සිටියා.  

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව ඉන්දීය ඉනිමට තවත් ලකුණු 18ක් එක් වෙද්දී පළමු දිනයේ තේ විවේකයට තරගය නතර කෙරෙනවා. ඒ වෙද්දී ඔවුන් කඩුලු 3ක් දැවී ලකුණු 199ක් ලබා සිටියා.  

දිනයේ දැවී ගිය කඩුලු අතුරින් අවසන් පිතිකරු බවට පත් වුයේ ආරම්භක පිතිකරු Sai Sudharsan. ඒ වෙද්දී ඔහු පන්දු 175කට මුහුණ දෙමින් හතරේ පහර 19ක් සමඟින් ලකුණු 132ක් ලබා සිටියා. එය ඔහුගේ පළමු පෙළ තරග පිටියේ 8 වැනි ශතකයයි.  

තරගය පළමු දිනයට නතර කරන විට නායක Dhruv Jurel සහ Shaik Rasheed එක් ව 5 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 116ක සබඳතාවක් ගොඩ නගා තිබුණා. එහි දී Dhruv Jurel පන්දු 138කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 68ක් ද සහ Shaik Rasheed පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 53ක් ද ලබා සිටියා.   

කඩුලු දවා ගැනීමේ දී දිලුම් සුදීර ලකුණු 98කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ මෙතෙක් හොඳම පන්දු යැවිම වාර්තා කළ අතර ඊට අමතර ව චාමික ගුණසේකර සහ රවිඳු ප්‍රනාන්දු කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව  

  • ඉන්දීයක්‍රිකට් කණ්ඩායම– කඩුලු 4ක් දැවී 333 (86.0) Sai Sudharsan 132, Aayush Pandey 25, Ruturaj Gaikwad 22, Dhruv Jurel නොදැවී 68, Shaik Rasheed නොදැවී 53, දිලුම් සුදීර 2/98 

මෙම තරගය හෙට (26) 2 වැනි දිනයටත් පැවැත්වීමට නියමිතයි.  

මෙම තරගයේ පිටියේ විනිසුරුවන් ලෙසින් ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු රවින්ද්‍ර විමලසිරි සහ චන්ද්‍රික අමරසිංහ යන මහත්වරුන් කටයුතු කළ අතර ඒ අතුරින් චන්ද්‍රික අමරසිංහ මහතා අද පිටිය මැදට පිවිසියේ තම පළමු පෙළ විනිසුරු දිවියේ 50 වැනි තරගය විනිශ්චය කිරීමටයි.  

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ මෙරට සංචාරයේ තවත් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<