ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහි ව ලකුණු 93ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.
Chennai හී MA Chidambaram ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 6ක් දැවී ලකුණු 170ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 77ක් පමණයි.
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම
චමෝදි ප්‍රබෝධා (නායිකාව), සංජනා කාවින්දි, විමෝක්ෂා බාලසූරිය, උමයංගනා පීරිස්, මනුදි නානායක්කාර, දනෝද්‍යා සෙව්මිණි, ලිමංසා තිලකරත්න, නෙතගි ඉසුරාංජලී (කඩුලු රකින්නිය), ප්‍රමුදි මෙත්සරා, චමෝදි හේරත් සහ අසේලි තලගුණේ.
ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම
Bhavika Ahire (නායිකාව සහ කඩුලු රකින්නිය) Tanishka Sharma, Ira Jadhav, Nidhi Mahto, Ishwari Awasare, Kashvi Kandikuppa, Kumari Palak, Mahak Narwase, Anaadi Tagde, Maitri Maniar සහ Janhavi Veerkar.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ නායිකා Bhavika Ahire. මේ වමත් පිතිකාරිනිය ඉනිමේ සිව් වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 73ක් ලබා සිටියා.
ඒ අතර තුර කාලයේ දී ඇය Nidhi Mahto හා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 83ක දී ලකුණු 128ක සබඳතාවක් ද ගොඩ නගනවා. එම කඩුල්ලේ සබඳතාව නිමා වෙන්නේ Nidhi Mahto ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඇය පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 59ක් ලබා සිටියා.
ඔවුන් දෙදෙනාට අමතර ව ඉනිමේ ආරම්භක පිතිකාරිනී Tanishka Sharma පන්දු 10ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 16ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී ප්‍රමුදි මෙත්සරා ලකුණු 23කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව චමෝදි හේරත්, අසේනි තලගුණේ සහ නායිකා චමෝදි ප්‍රබෝධා කඩුල්ල බැගින් දවා ගත්තා.
- අඩු ලකුණු ශ්‍රී ලංකාවට වින කටියි
- Sooryavanshi අවසන් මහා තරගය සංදර්ශනයක් කරයි
- ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයෝ ඉනිමකින් කොදෙව්වෝ පරාජය කරයි
- Deepti Sharma ඉන්දීය T20 ඉතිහාසය අලුත් කරයි
- ලෝක කුසලානයේ කැපී පෙණෙන පිතිකාරිනියෝ
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට ආරම්භයේ සිට ම විශ්වසනීය පන්දු පහර දීමකට හැකි වූයේ නැහැ. ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ කාලයකට පසු නැවත ශ්‍රී ලංකා කණ්ඩායම හා එක් වූ මනුදි නානායක්කාර. ඇය පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 28ක් ලබා ගන්නවා.
මේ අතර වාරයේ දී ඇය උමයංගනා පීරිස් හා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 18ක දී ලකුණු 18ක සබඳතාවක් ද ගොඩ නගනවා. ඔවුන් සේ ම ආරම්භක පිතිකාරිනියන් ලෙසින් පිටියට එක් වූ සංජනා කාවින්දි සහ විමෝක්ෂා බාලසූරිය පළමු කඩුල්ල සඳහා පන්දු 18ක දී ලකුණු 18ක සබඳතාවක් එක් කරනවා. ඊට අමතර ව 2 වැනි කඩුල්ල සඳහා විමෝක්ෂා බාලසූරිය සහ උමයංගනා පීරිස් එක් ව පන්දු 23ක දී ලකුණු 15ක සබඳතාවක් එක් කරනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉහළ ම ලකුණු සබඳතාවන් එපමණකින් නතර වූ අතර අනෙක් සෑම කඩුල්ලක ම ලකුණු සබඳතාවන් තනි ඉලක්කමකට සීමා වෙන්නේ ඉනිමේ තවත් පන්දු 9ක් ද ඉතිරි වෙද්දීයි.
මනුදි නානායක්කාරට අමතර ව විමෝක්ෂා බාලසූරිය පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 24ක් ද සහ උමයංගනා පීරිස් පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 12ක් ලබා ගත්තා.
අනෙක් සියලු ක්‍රීඩිකාවන් තනි ඉලක්කමේ ලකුණුවලට සීමා වෙමින් දැවී ගිය අතර ඉනිමේ අවසන් කඩුලු 7 ලකුණු 22ක් දවා ගැනීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.
පන්දු යැවීමේ දී දකුණතින් පා දඟ පන්දු යැවූ Nidhi Mahto පන්දු 9ක් පමණක් යවමින් ලකුණු 5කට කඩුලු 3ක් දවා ගත් අතර Kumari Palak සහ Kashvi Kandikuppa කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා. ඊට අමතර ව Maitri Maniar සහ Kashvi Kandikuppa කඩුල්ල බැගින් ද දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – කඩුලු 6ක් දැවී 170 (20.0)
- ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – සියලුම දෙනා දැවී 77 (18.3) විමෝක්ෂා බාලසූරිය 24, මනුදි නානායක්කාර 28, Anaadi Tagde 2/12, Kumari Palak 2/07, Nidhi Mahto 3/05
ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමට ලකුණු 93ක ජයක්.
තරගාවලියේ 2 වැනි විස්සයි විස්ස තරගය මේ මස 24 වැනිදා මෙම ක්‍රීඩාංගණයේ දී පැවැත්විමට නියමිතයි.
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















