ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂකගේ ධූරය අවසන්

312

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ Tom Moody මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව පියවර ගෙන තිබෙනවා.

අරවින්ද ද සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් තාක්ෂණික කමිටුව විසින් මේ නව තනතුර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යෝජනා කර තිබුණු අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව විසින් එම තනතුර Moody වෙත ලබා දීමට එකඟතාවය පළ කළා.

ඒ අනුව Moody 2021 වසරේ මාර්තු 1 සිට වසර තුනක කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂක ලෙස වැඩ කටයුතු සිදු කිරීමට නියමිතව තිබුනත්, වසරකුත් මාස 6ක කාලයක් ගතව තිබිය දී දෙපාර්ශවය අතර ඇතිවූ එකඟතාවය මත එම ගිවිසුම අවලංගු කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියලු කරුණු ක්‍රිකට් අධ්‍යක්ෂකගේ වගකීම් වන අතර පුහුණු කටයුතු, දේශීය තරගාවලි, සංවර්ධන සංචිත, වයස් කාණ්ඩ සංචිත හා මධ්‍යම කොන්ත්‍රාත්තු ගත ක්‍රීඩකයින්ගේ අවම ශාරීරික යෝග්‍යතා මට්ටම් ආදිය අධීක්ෂණය කිරීම Moody විසින් සිදු කළා.

හිටපු ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරුවෙකු සහ හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකු වන Tom Moody 2005 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස බඳවා ගත් අතර ඔහු ඒ වසර දෙක තුළ අතිසාර්ථක වුනා.

ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම 2007 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයට පිවිසුණු අතර ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයේ හා පාකිස්තානයේ දී ටෙස්ට් තරග ද ජය ගන්නට සමත් වුනා. එංගලන්තය එක්දින තරගාවලියක දී 5-0ක් ලෙස පරාජය කිරීමත් ඔහුගේ ධූර කාලයේ දී කැපී පෙනුණා.

එසේම ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ කාල සීමාවේ දී ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව වැනි කණ්ඩායම්වලට එරෙහිව සීමිත පන්දුවාර තරගාවලි කිහිපයක්ම ශ්‍රී ලංකාව ජය ගත් අතර 2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය ද ඒ අතර තිබෙන සුවිශේෂී ජයග්‍රහණයක්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<