COVID-19 අළුත්ම ගොදුර – ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ

257

පෘතුගාල ජාතික සුපිරි පාපන්දු තරුවක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හට නව කොරෝනා වෛරසය හෙවත් COVID-19 වෛරසය වැළඳී ඇති බව වාර්තා වේ. 

ඒ අනුව රොනාල්ඩෝ පෘතුගාල ජාතික පාපන්දු කණ්ඩායමෙන් ඉවත්ව ස්වයං හුදෙකලාවට යොමු වී තිබේ. මේ බව පෘතුගාලය නිකුත් කළ නිල නිවේදනයකින් තහවුරු කර ඇත. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හට කොරෝනා වෛරසය වැළඳී ඇති බවත් ඔහුට කිසිඳු ආසාත්මිකතාවයක් හෝ රෝග ලක්ෂණයක් නොමැති බවත් එම නිවේදනයේ දැක්වේ.  

කෙසේවෙතත් රොනාල්ඩෝගේ PCR පරීක්ෂණය positive වීමත් සමඟින් සෙසු පෘතුගාල ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන්ද PCR පරීක්ෂණයට යොමුකර ඇති අතර එහි ප්‍රතිඵල වලට අනුව ඔවුන්ට වෛරසය වැළඳී නොමැති බව තහවුරු වී තිබේ. 

ඒ අනුව UEFA Nations League තරගාවලියට අදාළව එළඹෙන බදාදා (14) පැවැත්වීමට නියමිත පෘතුගාලය සහ ස්වීඩනය අතර තරගය සඳහා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහභාගී නොවනු ඇත. 

රොනාල්ඩෝ මෙම තරගාවලියට අදාළව පසුගිය ඉරිදා වත්මන් ලෝක ශූර ප්‍රංශය සමඟින් පැවති තරගය සඳහා සහභාගී වූ අතර එම තරගය නිමා වූයේ ජය පරාජයකින් තොරවය. 

කෙසේවෙතත් එම තරගයේ දී ගෝලයක් වාර්තා කරගැනීමේ ආසන්න අවස්ථාවක් රොනාල්ඩෝ හට හිමි වූ අතර ප්‍රංශ ගෝල රකින්නා වූ Hugo Lloris ගේ දක්ෂ වැළැක්වීමක් හමුවේ එය ව්‍යර්ථ විය. 

මීට පෙර ලිස්බන් හිදී රොනාල්ඩෝ සහභාගී වූ ස්පාඤ්ඤ තරගය ඔහු පෘතුගාලය වෙනුවෙන් ක්‍රීඩා කළ 200 වන ජාත්‍යන්තර තරගය ලෙස වාර්තාගත විය. ඒ යොවුන් හා ජේෂ්ඨ කණ්ඩායම් ද්විත්වයම නියෝජනය කරමිනි. 

පසුගිය සඳුදා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය නිල twitter ගිණුම ඔස්සේ ඔහුගේ සහ පෘතුගාල කණ්ඩායමේ ඡායාරූපයක් පළකරමින් “ක්‍රීඩාංගණයේ දී මෙන්ම ඉන් පිටතදීත් එකමුතුව!” යනුවෙන් සටහන් කර තිබිනි. 

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හට කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් අනතුරුව ඔහුගේ මව වන Dolores Aveiro ඔහු පෘතුගාල ජාතික කණ්ඩායමේ ජර්සියක් පැළඳ සිටින ඡායාරූපයක් පළකර තිබිනි. “දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨ සටන්කරුවන්ට ලොකු අභියෝග ලබාදෙනවා. මේක තවත් එක් යුද්ධයක් පමණයි. මගේ පුතා එය ජයග්‍රහණය කරාවි. යනුවෙන් සටහන් කර තිබිනි.

පෘතුගාල කණ්ඩායම ස්වීඩනය සමඟින් පැවැත්වෙන තරගයට පෙර සාමාන්‍ය ලෙස සිය පුහුණු සැසිය සහ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබූ අතර ඒ පිළිබඳව මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නැත. 

තවත් පාපන්දු පුවත් කියවන්න: 

Serie A තරගාවලියට අදාළව Juventus කණ්ඩායම සහ Crotone කණ්ඩායම අතර තරගය එළඹෙන සෙනසුරාදා පැවැත්වීමට නියමිතව ඇත. එම තරගය සඳහා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ සහභාගීත්වය අවිනිශ්චිත වී ඇත. Champions League තරගාවලියේ ආරම්භක තරගය ලෙස එළඹෙන අඟහරුවාදා පැවැත්වීමට නියමිත Dynamo Kiev තරගය සඳහා ද රොනාල්ඩෝට සහභාගී වීමට නොහැකි වනු ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිනි

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පසුගිය සතියේ දී Juventus කණ්ඩායම සමඟින් පුහුණුවීම් වල නිරත වූ අතර ඉන්පසුව ජාතික කණ්ඩායම හා එක්විය. කෙසේවෙතත් පසුගිය සතියේ දී  Juventus කණ්ඩායම නිල නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ සිය කාර්‍යමණ්ඩලයේ නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවයි. ඉන් අනතුරුව එම කණ්ඩායමේ ක්‍රීඩකයන් බොහෝදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු වූ අතර ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ තවත් ක්‍රීඩකයන් දෙදෙනකු එලෙස නිරෝධායනයට යොමු නොවී සිය ජාතික කණ්ඩායම් හා එක්වූ බව වාර්තා විය. 

ජාතික කණ්ඩායම් හා එක්නොවූ Juventus ක්‍රීඩකයන් සෞඛ්‍ය නිර්දේශ අනුව එම කණ්ඩායමේ හෝටලය තුළ නිරෝධායනයට යොමුකළ බව Juventus කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.  

Juventus කණ්ඩායම රැඳී සිටි ටියුරින් හි හෝටලයෙන් ඉවත්වීමට පෙර ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ PCR පරීක්ෂණයකට පෙනී සිට ඇති අතර එහිදී ඔහුට වෛරසය ආසාධනය වී නොමැති බව තහවුරු වී ඇත. 

Juventus ක්‍රීඩකයන්ට ඔක්තෝබර් මස 07 වනදා දක්වා එම හෝටලයේම රැඳී සිටීමට සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කර තිබිනි. ඊට දින දෙකකට පෙර ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පෘතුගාල ජාතික කණ්ඩායම සමඟින් එක්ව තිබිනි. 

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඇතුලු Juventus ක්‍රීඩකයන් කිහිපදෙනෙකු මෙලෙස සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් සිය ජාතික කණ්ඩායම් හා එක්වීම පිළිබඳව ටියුරින් හි සෞඛ්‍ය අංශ විසින් එරට සෞඛ්‍ය අංශ වෙත පැමිණිලි කර ඇති අතර ඔවුන් සෞඛ්‍ය ප්‍රොටෝකෝල උල්ලංඝනය කර ඇත්දැයි තීරණය කිරීම සඳහා මේ වන විට පරීක්ෂණයක් සිදුකරමින් පවතී. 

පසුගිය මාසයේ දී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය පාපන්දු දිවියේ සුවිශේෂී කඩයිමක් පසුකළේය. ඒ ජාත්‍යන්තර ගෝල 100 සීමාව පසුකළ දෙවන ක්‍රීඩකයා බවට පත්වෙමිනි. 

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් බරපතළ නොවීම මෙරට මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩා ලෝලීන්ටද සුබ ප්‍රවෘත්තියක් වනු ඇත. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<