2026 පාපන්දු ලෝක කුසලානයේ 21 දිනය අද (02) උදෑසන නිමාවට පත් වුනා.
ඊයේ (01) රාත්‍රියේ සහ අද උදෑසන තරග පිළිමළුන් පිටුදැකීමේ තරග ත්‍රිත්වයක් ක්‍රියාත්මක වූ අතර, මේ අතුරින් එංගලන්තය සහ බෙල්ජියම විසින් දැක්වූ දක්ෂතා විශේෂයෙන්ම කැපී පෙනුණා.
එංගලන්තය සහ DR කොංගෝ
ඊයේ රාත්‍රියේ ආරම්භ වූ මෙම තරගයේ 07 වැනි මිනිත්තුවේ දී කොංගෝ දේශය වෙනුවෙන් Brian Cipenga විසින් ගෝලයක් වාර්තා කිරීමට සමත් වුනා. එංගලන්තය තරගය ජය ගනීවි යැයි බොහෝ බලාපොරොත්තු තබා තිබූ අවස්ථාවක කොංගෝ කණ්ඩායම විසින් මෙසේ ගෝලයක් ලබමින් තරගයෙන් පෙරමුණට පැමිණීමට සමත් වීම සහ ඉන් අනතුරුව තරගයේ 75 වැනි මිනිත්තුව තෙක් එංගලන්තයට ගෝල වාර්තා කිරීමට ඉඩ නොදී තරගයේ වාසිය තමන් වෙතට හරවා ගැනීමට සමත් වීම බොහෝ දෙනෙකු පුදුමයට පත් කළා.
කෙසේ වෙතත් එංගලන්තයට අවශ්‍ය ම වූ මොහොතේ ක්‍රියාත්මක වූ නායක Harry Kane විසින් තරගයේ 75 මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරමින් තරගය සම කිරීමටත්, තරගයේ 86 වැනි මිනිත්තුවේ දී දෙවැනි ගෝලය වාර්තා කරමින් එංගලන්තය ඉදිරි වටය දක්වා රැගෙන යාමට ද සමත් වුනා.
මේත් සමඟම කොංගෝ කණ්ඩයම මෙතෙක් ලෝක කුසලානය තුළ දැක් වූ දක්ෂතා සියල්ලේ අවසානය ද සනිටුහන් වුනා. කෙසේ වෙතත් වසර 52කට පසුව ලෝක කුසලානයකට පිවිසෙමින් ඔවුන් මෙවර දැක් වූ දක්ෂතා කිසිවකුට හෝ කලකට අමතක නොවනු ඇති.
- SAFF U20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සංචිතය නම් කරයි
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
බෙල්ජියම සහ සෙනගාලය
මෙතෙක් තරගාවලිය තුළ ක්‍රියාත්මක වූ වඩාත් උද්වේගකර තරගය ලෙස මෙය හඳුන්වා දිය හැකි.
මෙම තරගයේ පළමු අර්ධයේ 24 වැනි මිනිත්තුවේ දී සෙනගාලය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට Habib Diarra විසින් සමත් වුනා.
ඉන් පසුව ද සෙනගාලය විසින් තරගයේ ආධිපත්‍යය තමන් වෙත තබා ගනිමින් ක්‍රීඩා කිරීමට සමත් වූ අතර, දෙවැනි අර්ධය තුළ ද තත්වය එසේම වුනා. තරගයේ 51 වැනි මිනිත්තුවේ දී Ismaila Sart විසින් සෙනගාලය වෙනුවෙන් දෙවැනි ගෝලය ද වාර්තා කළා.
මේත් සමඟම සෙනගාලය තරගය ජය ගැනීමට ඇති හැකියාව දැඩි ලෙස ඉහළ ගිය අතර, තරගයේ 86 වැනි මිනිත්තුව දක්වා ම තරගයේ පාලනය සෙනගාලය සතු වුනා. කෙසේ වෙතත් එක් වරම ක්‍රියාත්මක වූ බෙල්ජියම් ක්‍රීඩකයින් තරගයේ පාලනය සියතට ගැනීමට සමත් වෙමින් සිය පළමු ගෝලය 86 වැනි මිනිත්තුවේ දී වාර්තා කිරීමට සමත් වුනා. Romelu Lukaku විසින් වාර්තා කළ එම ගෝලයෙන් තත්පර 159ක් ගෙවෙන තැන තරගයේ 89 මිනිත්තුවේ දී බෙල්ජියම වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා කිරීමට Youri Tielemans සමත් වුනා.
ඒ අනුව තරගය 2-2ක් ලෙස සම මට්ටමට පැමිණි අතර, තීරණයක් ලබා ගැනීම වෙනුවෙන් අතිරේක කාලය දක්වා තරගය රැගෙන යාමට සිදු වුනා. මෙහි දී තරගයේ 120+5 මිනිත්තුවේ දී බෙල්ජියම වෙනුවෙන් ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට නැවතත් Tielemans විසින් සමත් වූ අතර, ඒත් සමඟම තරගයේ ජය බෙල්ජියමට හිමි වුනා.
ඇමරිකා එක්සත් ජනපදය සහ බොස්නියාව
මෙම තරගයේ දී බොස්නියාව පාර්ශවයෙන් ඇමරිකාවට බලාපොරොත්තු වූ තරමේ සටහන් එල්ල වුනේ නැහැ. තරගයේ 45 වැනි මිනිත්තුවේ දී ඇමරිකාව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට Folarin Balogun විසින් සමත් වූ අතර, තරගයේ 64 වැනි මිනිත්තුවේ දී ඔහු රතු කාඩ් පතක් ලබමින් පිටියෙන් ඉවත් වුනා.
එතැන් පටන් ඇමරිකාව ක්‍රීඩකයින් දස දෙනෙකුගෙන් පමණක් තරගය ක්‍රීඩා කළ නමුත්, බොස්නියාවට නැවත තරගයට අවතීර්ණ වීමට එය හේතුවක් කර ගත නොහැකි වුනා. මේ අතරවාරයේ තරගයේ 82 මිනිත්තුවේ දී Malik Tillman විසින් ගෝලයක් වාර්තා කිරීමට සමත් වූ අතර, ඒත් සමඟින් ම ඇමරිකාව තරගයේ ජය තහවුරු කර ගනිමින් කණ්ඩායම් 16 තරග වටයට සුදුසුකම් ලබා ගත්තා.
ලෝක කුසලානයේ 21 වැනි දිනය ඒ අයුරින් නිමා වන අතරේ, 22 දිනයට අදාළ තවත් තරග ත්‍රිත්වයක් හෙට (03) ක්‍රියාත්මක වීමට නියමිතයි.
- හෙට මධ්‍යම රාත්‍රී 12.30 – ස්පාඤ්ඤය සහ ඔස්ට්‍රියාව
- හෙට උදෑසන 4.30 – පෘතුගාලය සහ ක්‍රොයේශියාව
- හෙට උදෑසන 8.30 – ස්විස්ටර්ලන්තය සහ ඇල්ජීරියාව
එම තරග තොරතුරු ද සමඟින් 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>






















