සිරිසෝමගෙන් පානදුරට ජයග්‍රහණයේ පෙරනිමිති

338
SLC Premier League 2016/17 Tier B

අන්තර් සමාජ ලීග් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරඟ කිහිපයක්ම ඊයේ (21) ආරම්භ විය. අද (22) දිනය තුල කඩුලු 10ක් දවාලූ ගයාන් සිරිසෝම පානදුර ක්‍රීඩා සමාජයේ ජයග්‍රහනයට යන ගමන වෙනුවෙන් විශිෂ්ට මෙහෙයක් සිදුකරන ලදි.

පසුගිය ලිපි: වරාය අධිකාරියෙන් සුපිරි දස්කම්

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය හා ලංකන් ක්‍රිකට් සමාජය අතර තරඟය

වෙළගෙදර ක්‍රීඩා පිටියේදී කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය කාසියේ වාසිය ජයග්‍රහණය කර පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි. අද (22) දිනය අවසන් වන විට තම දෙවන ඉණිම වෙනුවෙන් කුරුණෑගල තරුණ සමාජය කඩුලු 3ක් දැවී ලකුණු 23ක් ලබා සිටියි.

අද දිනය ආරම්භ කරමින් කුරුණෑගල ක්‍රීඩකයින්ගේ ආරම්භක පිතිකරණ යුගල ලකුණු 29ක් වන විට දවාලීමට රජීව වීරසිංහ සමත් විය. අනතුරුව පිටියට පැමිණි හශාන් ප්‍රභාත් ඉවසිල්ලෙන් යුතුව 4 පහර 7ක් සමඟ ලකුණු 76ක් ලබාගෙන කඩාවැටෙමින් තිබුණු ඉණිම ගොඩනංවන ලදි. ඔහු සමඟින් එකවූ නායක අනුරුද්ධ රාජපක්ෂ වේගවත් 4 පහර 7ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 40ක් ලබාගෙන 7වන කඩුල්ල සඳහා ලකුණු 54ක සබඳතාවයක් නිර්මාණය ලදි. රජීව ලංකන් ක්‍රිකට් සමාජය වෙනුවෙන් කඩුලු 4ක් දවාගන්නා ලදි.

තම පළමු ඉණිමට ලබාගත් ලකුණු ප්‍රමාණය ලංකන් ක්‍රිකට් සමාජයේ පළමු ඉණිමට සාපේක්ෂව අවම මට්ටමක පැවති නිසා නැවතත් තරුණ සමාජය තම දෙවන ඉණිම සඳහා පිටියට පිවිසියේය. දිනයේ නිමාව සනිටුහන් වන විට කඩුල්ලේ රැදී සිටින හශාන් ප්‍රභාත් නොදැවී ලකුණු 13*ක් හා ධනුෂ්ක ධර්මසිරි නොදැවී ලකුණු 9*ක් ලබාගෙන කඩුල්ලේ රැදී සිටියි.

ලංකන් ක්‍රිකට් සමාජය පළමු ඉණිම  – සියල්ලන්ම දැවී ලකුණු 422 (පන්දුවාර 89.2): චානක රුවන්සිරි 100, ලක්ෂාන් රොද්‍රිගෝ 91, ලාල් කුමාර 86, රජීව වීරසිංහ 51 , මිතුන් ජයවික්‍රම 3/103, චරිත් මාපටුන 2/50

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 253 (පන්දුවාර 79.1): හශාන් ප්‍රභාත් 76, අනුරුද්ධ රාජපක්ෂ 40, රජීව වීරසිංහ 4/59, නවීන් කවිකාර 3/81

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජ දෙවන ඉණිම (දෙවන දිනය අවසානයේ දී) (F/O)  – කඩුලු 3ක් දැවී ලකුණු 23 (පන්දුවාර 16): හශාන් ප්‍රභාත් 13*, ධනුෂ්ක ධර්මසිරි 9*, නවීන් කවිකාර 1/10

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජයට ඉණිමක පරාජයෙන් ගැලවීමට තවත් ලකුණු 146ක් අවශ්‍ය වේ.


පොලිස් ක්‍රීඩා සමාජය හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර තරඟය

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය කාසියේ වාසිය ජයග්‍රහණය කර පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි. මෙම තරඟය පැවැත්වෙන්නේ හම්බන්තොට සූරියවැව ක්‍රීඩා පිටියේදීයි. අද දිනය අවසන් වන විට තම දෙවන ඉණිම ක්‍රීඩා කරන ගුවන් හමුදා ක්‍රීඩා සමාජය එක් කඩුල්ලක් දැවී ලකුණු 5ක් ලබා සිටියි.

දිනය ආරම්භ කරන විට ගුවන් හමුදා කණ්ඩායම තම පළමු ඉණිමට කඩුලු 9ක් දැවී ලකුණු 167ක් ලබා සිටි අතර දිනය අරඹා එක් ලකුණක් ලකුණු පුවරුවේ සටහන් කල සැනින් ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ අවසන් කඩුල්ල දවාගැනීමට පොලිස් ක්‍රීඩා සමාජය සමත් විය.

අනතුරුව තම පළමු ඉණිම දියත් කිරීමට පිටියට පැමිණි පොලිස් ක්‍රීඩා සමාජ ලකුණු පුවරුව ලකුණු 27ක් තුල කඩුලු 4ක් ලෙස දිස්වෙද්දී සනත් රංජන් හා සමිත් දුශ්ශන්ත තම ඉණිමට ලකුණු 34ක සබඳතාවයක් ගොඩනැංවිය. එම සබඳතාවය පිටුවහලක් කරගෙන 6 වන කඩුල්ල සඳහා ද ලකුණු 72ක තවත් සාර්ථක සම්බන්ධතාවක් සටහන් කිරීමට දුශ්ශන්ත හා සුවන්ජි මඳනායක සමත් විය. දුශ්ශන්ත 4 පහර 6ක් සමඟ ලකුණු 86ක් හා මඳනායක 4 පහර 3ක් සමඟ ලකුණු 31ක් රැස්කර ගන්නා ලදි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 168 (පන්දුවාර 76.2): බුද්ධික සඳරුවන් 43*, රොස්කො පහටිල් 38, මංජුල ජයවර්ධන 4/47, පාලිත කුමාර 2/15

පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 184 (පන්දුවාර 87.1): සමිත් දුශ්ශන්ත 82, සුවන්ජි මඳනායක 31, සොහාන් රංගික 3/36

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉණිම (දෙවන දිනය අවසානයේ දී) – කඩුලු 1ක් දැවී ලකුණු 5 (පන්දුවාර 5):

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පොලිස් ක්‍රීඩා සමාජයේ පළමු ඉණිමට වඩා ලකුණු 11ක් පසුපසින් පසුවෙයි.


නාවික හමුදා ක්‍රීඩා සමාජය හා පානදුර ක්‍රීඩා සමාජය අතර තරඟය

වැලිසර නාවික හමුදා පිටියේදී කාසියේ වාසිය ජයග්‍රහණය කල පානදුර ක්‍රීඩා සමාජය පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි. අද දිනය අවසන් වන විට තම දෙවන ඉණිම ක්‍රීඩා කරන නාවික හමුදා ක්‍රීඩා සමාජය කඩුලු 2ක් දැවී ලකුණු 10ක් ලබාගන්නා ලදී.

නාවික හමුදා  ක්‍රීඩා සමාජය පළමු දිනය අවසානයේ දී තම පළමු ඉණිමට කඩුලු 5ක් දැවී ලකුණු 97ක් එක්කර ගැනීමට සමත් වූ අතර දිනුශ්ක මාලන් ලකුණු 42*ක්ද, සමීර සඳමාල් නොදැවී ලකුණු 33*ක් ලබාගෙන කඩුල්ලේ රැදී සිටින ලදී. අද ඔවුන් දෙදෙනා ලකුණු 76ක සබඳතාවයක් 6 වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවුවද, නාවික හමුදා කණ්ඩායමේ අවසන් කඩුලු 4 ලකුණු 24ක් තුල දවාලීමට ගයාන් සිරිසෝම ඇතුළු පානදුර ක්‍රීඩා සමාජය සමත් විය.

ගයාන් සිරිසෝම පානදුර ක්‍රීඩා සමාජය වෙනුවෙන් ලකුණු 46කට කඩුලු 8ක් දවාගන්නා ලදි.

ලකුණු 143ක පළමු ඉණිමේ වාසියක් ද ඇතිව තම දෙවන ඉණිම ආරම්භ කල පානදුර ක්‍රීඩා සමාජය වෙනුවෙන් දක්ෂ පිතිකරණ විලාසයක් පෙන්නුම් කිරීමට මිශේන් සිල්වා සමත් වූ අතර, ඔහු ලකුණු 57ක් ලබා ගන්නට සමත් විය. නාවික හමුදා දෙවන ඉණිමේ පළමු කඩුලු දෙකම දවාලීමට ගයාන් සිරිසෝම සමත් විය.

පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 268 (පන්දුවාර 54.2): චාමර සිල්වා 72, මිශේන් සිල්වා 70, රැවන් ප්‍රනාන්දු 29, ඉශාන් අබේසේකර 4/78, දිලංක ශ්‍රීමාල් 3/47

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉණිම  – සියල්ලන්ම දැවී ලකුණු 125 (පන්දුවාර 47.3): දිනුශ්ක මාලන් 56, සමීර සඳමාල් 34,, ගයාන් සිරිසෝම 8/46

පානදුර ක්‍රීඩා සමාජය දෙවන ඉණිම – කඩුලු 8ක් දැවී ලකුණු 288 dec (පන්දුවාර 66): මිශේන් සිල්වා 57, අරුණ ධර්මසේන 50, ලසිත් ප්‍රනාන්දු 45, මදුර මදුසංක 3/46

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉණිම (දෙවන දිනය අවසානයේ දී) – කඩුලු 2ක් දැවී ලකුණු 10 (පන්දුවාර ): ගයාන් සිරිසෝම 2/03

නාවික හමුදා ක්‍රීඩා සමාජයට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 422ක් අවශ්‍ය වෙයි.


ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩා සමාජය හා කළුතර භෞතික සංස්කෘතික ක්‍රිකට් සමාජය අතර තරඟය

මත්තේගොඩ යුධ හමුදා පිටියේදී කාසියේ වාසිය ජයග්‍රහණය කල වරාය අධිකාරි ක්‍රීඩා සමාජය පළමුව පන්දුවට පහරදීමට කළුතර භෞතික සංස්කෘතික ක්‍රිකට් සමාජය වෙත ඇරයුම් කරන ලදි. දිනය අවසන් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 170ක් ලබාගන්නට කළුතර භෞතික සංස්කෘතික සමාජය සමත් විය.

ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රිකට් සමාජය තම පළමු ඉණිමට කඩුලු 3ක් දැවී ලකුණු 286ක් ලබාගෙන තිබියදී අද (22) තරඟය ආරම්භ විය. එ් වන විට ඉශාන් රංගන නොදැවී ලකුණු 97*ක් හා ප්‍රශාන් වික්‍රමසිංහ නොදැවී ලකුණු 51*ක් ලබාගෙන කඩුල්ලේ රැදී සිටින ලදි.

ඔවුන් දෙදෙනා 4වන කඩුල්ල සඳහා ලකුණු 143ක දැවැන්ත සබඳතාවයක් ගොඩනැංවූ අතර, එම සබඳතාවය අවසන් කරමින් 4 පහර 9ක් හා 6 පහර 2ක් සමඟින් ලකුණු 109ක් ලබාගෙන සිටි ඉශාන් රංගන දැවී යන ලදි. ප්‍රශාන් වික්‍රමසිංහ ඉණිමේ පස්වන කඩුල්ල ලෙස ලකුණු 80කට දැවීගිය අතර, ඔහුගේ ඉණිම 4 පහර 9කින් වර්ණවත් විය. අවසානයේ වරාය අධිකාරි ක්‍රීඩා සමාජය කඩුලු 7ක් දැවී ලකුණු 400ක් ලබාගෙන තම ඉණිම අත්හිටුවීමට තීරණය කරන ලදි.

ඉණිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 351ක විශාල ලකුණක් කළුතර භෞතික සංස්කෘතික ක්‍රිකට් සමාජයට හඹායාමට නියමිත විය. අනතුරුව පළමු කඩුල්ල සඳහා ලකුණු 41ක සබඳතාවයක් ගොඩනැංවීමට ෆහාඩ් බාබර් හා දමිදු අශාන් සමත් විය. දමිදු 4 පහර 4ක් සමඟින් ලකුණු 41ක් ලබා ගැනීමට සමත් විය. දිනය අවසන් වන විට නොදැවී කඩුල්ලේ රැදී සිටින මනොජ් දේශප්‍රිය 4 පහර 5ක් සමඟින් ලකුණු 29*ක් හා දෙවන ඉණිමේ වැඩි බරක් කරට ගත් පැතුම් නිස්සංක 4 පහර 13ක් හා එක් 6 පහරක් සමඟ දක්ෂ පිතිකරණයක නිරත වෙමින් ලකුණු 86*ක් ලබාගෙන සිටියි.

කළුතර භෞතික සංස්කෘතික ක්‍රිකට් සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 49 (පන්දුවාර 22.2): ෆහාඩ් බාබර් 14, චානක කොමසාරු 5/17, චාමිකර එදිරිසිංහ 4/08

ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රිකට් සමාජය පළමු ඉණිම – කඩුලු 7ක් දැවී ලකුණු 400  dec (පන්දුවාර 93): ඉශාන් රංගන 109, ප්‍රශාන් වික්‍රමසිංහ 80, හශාන් ගුණතිලක 67, රනේශ් පෙරේරා 31, ඩිල්ශාන් මෙන්ඩිස් 2/70

කළුතර භෞතික සංස්කෘතික ක්‍රිකට් සමාජ දෙවන ඉණිම (දෙවන දිනය අවසානයේ දී) – කඩුලු 3ක් දැවී ලකුණු 170 (පන්දුවාර 57): පැතුම් නිස්සංක 83*, දමිදු අශාන් 41, මනෝජ් දේශප්‍රිය 29*, චානක කොමසාරු 2/19

කළුතර භෞතික සංස්කෘතික සමාජයට ඉණිමක පරාජයෙන් ගැලවීමට තවත් ලකුණු 181ක් අවශ්‍ය වෙයි

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට