Home Sinhala වත්මන් ලෝක ශූරියන් හමුවේ ශ්‍රී ලංකාව පරාජයට!

වත්මන් ලෝක ශූරියන් හමුවේ ශ්‍රී ලංකාව පරාජයට!

877

2023 කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ මෙතෙක් අපරාජිතව රැඳී සිටි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (16) මුල් වරට පරාජයක් ලැබුවා. ඒ වත්මන් ලෝක ශූරියන් වන ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම හමුවේයි.

අද තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියානු නායිකා Meg Lanning මුලින් පන්දු යැවීමේ අවස්ථාව තමන් වෙත නතුකර ගත්තා. ඒ අනුව ඉනිම ඇරඹුවේ පසුගිය තරග දෙක ජයග්‍රහණය කරා ගෙන යාමට ප්‍රබල ලෙස උරදුන් චමරි අතපත්තු සහ හර්ෂිතා මාධවීයි.

ඔවුන් දෙදෙනා ප්‍රබල ඕස්ට්‍රේලියානු පන්දු බල ඇණිය ඉදිරියේ පළමු කඩුල්ලට සටන්කාමී ලකුණු 30ක් එකතු කරන්නේ මුල් පන්දුවාර 5 ඇතුළතයි. කාන්තා බිග් බෑෂ් ලීග් තරගාවලිය නියෝජනය කරමින් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නියන්ට මුහුණ දී ඇති පළපුරුදු චමරි අතපත්තු අද තරගයේ තීරණාත්මක සාධකයක් ලෙස හතරේ පහර දෙකක් සහ එක් දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් සටනට අවතීර්ණ වුනා.

කෙසේ නමුත් තවදුරටත් ප්‍රහාරයට උත්සාහ කළ චමරි අවසානයේ ලකුණු 16කට දැවී යන්නේ Grace Harris ගුවනේ පියඹා ගොස් රැකගත් අති විශිෂ්ට උඩපන්දුවක් නිසයි. සාමාන්‍යයෙන් කාන්තා තරගවල දී කලාතුරකින් දකින්නට ලැබෙන ආකාරයේ එම උත්සාහය නිසා කඩුල්ල හිමිවුනේ දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩිකා Ellyse Perryටයි.

බංග්ලාදේශයට එරෙහිව ක්‍රීඩා කළ ඉනිමෙන් තම ආත්ම විශ්වාසය වර්ධනය කරගත් හර්ෂිතා මාධවී අද අවදානමෙන් වැඩි පැඩ්ල්-ස්වීප් පහරවල් පවා අලංකාර ලෙස එල්ල කරමින් ලකුණු 34ක් රැස් කළා. ඒ පන්දු 40ක් තුල දීයි. හර්ෂිතාගේ දැවී යාමෙන් පසු ලකුණු වේගය වැඩි කිරීමේ අදහසින් ඕෂධී රණසිංහව පිතිපෙළේ ඉහළින් එව්ව ද, ඇය ලකුණු නොලබාම දැවී ගියා.

පළපුරුද්ද මගින් ශ්‍රී ලංකාව අත තිබූ තරගය ක්‍රමයෙන් ග්‍රහණයට ගනිමින් සිටි ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් හමුවේ අනුෂ්කා සංජීවනීට අදත් සාර්ථක වෙන්නට හැකි වුනේ නැහැ. කෙසේ වෙතත් ඉනිමේ අවසන් කොටසේ දී නිලක්ෂි ද සිල්වා පන්දු 07ක දී නොදැවී රැස්කළ ලකුණු 15 නිසා ශ්‍රී ලංකාවට කඩුලු 8කට ලකුණු 112ක් රැස්කර ගැනීමට හැකි වුනා.

මුල් කොටසේ තරමක ප්‍රහාරයට ලක් වුවද පසුව ශක්තිමත් ලෙස තරගයට අවතීර්ණ වූ ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නියන් අතරේ කඩුලු 07ක් බෙදී යද්දී, Megan Schutt කඩුලු 4කට හිමිකම් කිව්වේ ලකුණු 24ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනුයි. Alyssa Healy කඩුල්ල පිටුපස සිට දවා ගැනීම් 3කට උපකාර කළා.

ඕස්ට්‍රේලියාව අද ක්‍රීඩා කළ ඉනිම සර්ව සම්පූර්ණ ඉනිමක් ලෙස නම් කළ හැකි අතර ඔවුන් කිසිදු කඩුල්ලක් ලබා නොදීම අදාළ ඉලක්කය පසුකර ගියා. එහි දී ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සිදු කළ සුළු අතපසුවීම් වලින් පවා පන්දුව හතරේ සීමාව වෙත පියඹා ගියා.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ Alyssa Healy ලකුණු 54ක් රැස් කළේ පන්දු 43කට පමණක් මුහුණ දෙමින්. ඇයගේ වේගවත් ඉනිමට හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුනා. තරගය අවසන් වන විට ඇය සමඟ නොබිඳුනු ලකුණු 113ක සබඳතාවයකට උරදුන් Beth Mooney නොදැවී ලකුණු 56ක් ලබා සිටියා. ඒ හතරේ පහර 07ක් ද සහිතවයි.

පන්දු යැවීමේ දී වෙනදාට දස්කම් අතර සිටින ඉනෝකා රණවීර පවා අද පන්දුවාර 3ට ලකුණු 26ක් ලබා දුන්නා. තණතිල්ලත් පිතිකරුවන්ට සහය දක්වන බව පැහැදිලිව පෙනෙන්නට තිබූ අතර එවැනි තණතිල්ලක ශ්‍රී ලංකා පිතිකාරිණියන් දැක්වූ දස්කම් අවම මට්ටමක තිබූ බව කිව යුතුයි.

Result


Australia Women
113/0 (15.5)

Sri Lanka Women
112/8 (20)

Batsmen R B 4s 6s SR
Harshitha Samarawickrama st Alyssa Healy b Grace Harris 34 40 3 0 85.00
Chamari Athapaththu c Grace Harris b Ellyse Perry 16 16 2 1 100.00
Vishmi Gunaratne c Ellyse Perry b Megan Schutt 24 33 1 0 72.73
Oshadi Ranasinghe c Tahlia McGrath b Grace Harris 0 4 0 0 0.00
Anushka Sanjeewani b Georgia Wareham 8 9 1 0 88.89
Nilakshika Silva not out 15 7 2 0 214.29
Ama Kanchana c Beth Mooney b Megan Schutt 4 7 0 0 57.14
Malsha Shehani st Alyssa Healy b Megan Schutt 0 1 0 0 0.00
Sugandika Kumari st Alyssa Healy b Megan Schutt 4 3 1 0 133.33


Extras 7 (b 0 , lb 3 , nb 0, w 4, pen 0)
Total 112/8 (20 Overs, RR: 5.6)
Bowling O M R W Econ
Ashleigh Gardner 2 0 14 0 7.00
Darcie Brown 1 0 8 0 8.00
Megan Schutt 4 0 24 4 6.00
Ellyse Perry 2 0 14 1 7.00
Georgia Wareham 4 0 20 1 5.00
Grace Harris 3 0 7 2 2.33
Alana King 4 0 22 0 5.50


Batsmen R B 4s 6s SR
Alyssa Healy b 54 43 6 1 125.58
Beth Mooney b 56 53 7 1 105.66


Extras 3 (b 0 , lb 0 , nb 1, w 2, pen 0)
Total 113/0 (15.5 Overs, RR: 7.14)
Bowling O M R W Econ
Sugandika Kumari 2 1 10 0 5.00
Oshadi Ranasinghe 3.5 0 28 0 8.00
Malsha Shehani 3 0 15 0 5.00
Achini Kulasuriya 2 0 22 0 11.00
Inoka Ranaweera 3 0 26 0 8.67
Chamari Athapaththu 2 0 12 0 6.00



පිත්තෙන් ලකුණු 54ක් සහ කඩුලු රැකීමෙන් දවා ගැනීම් 3කට දායක වූ Alyssa Healy තරගයේ වීරවරිය ලෙස සම්මාන දිනා ගත්තා. තමන් මුහුණ දුන් තරග 3න්ම 3ම ජය ගනිමින් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ පසු වෙනවා. දෙවැනි ස්ථානයේ තවමත් රැඳී සිටින්නේ ශ්‍රී ලංකාවයි.

ශ්‍රී ලංකාව මෙම වටයේ මුහුණ දෙන අවසන් තරගය ලබන ඉරිදා (19) නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි. සෙසු තරග තීරණ අනුව ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට අතිශයින්ම වැදගත් විය හැකි මෙම තරගයේ සියලු තතු විත්ති වෙනුවෙන් රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<